දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට ධාවනය අද රාත්‍රියේ ඇරඹේ

පෙබ 24, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු මාතර - හම්බන්තොට කොටසේ මගී ප්‍රවාහනයට සුඛෝපභෝගී බස් රථ 10ක් අද සිට ධාවනයට එක් කෙරේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස්රථ සඳහා වූ ගාස්තුව ද රජය ප්‍රකාශයට පත්කර තිබේ. බස් සේවා අද පෙරවරුවේ තංගල්ල බස් නැවතුම්පලින් ආරම්භ කෙරෙන්නේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. නව බස්රථ, අම්බන්තොට,තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශවල සිට කටුනායක ගුවන්තොටුපොළ හා කඩවත දක්වා ධාවනය කෙරෙනු ඇති. පළමු අදියරට එම ස්ථානවල සිට සුඛෝපභෝගී බස්රථ 3ක් යෙදවීමට නියමිත බවයි, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා වූ ලංගම බස්රථ ගාස්තුව රුපියල් 880ක්. තංගල්ල සිට කොළඹ දක්වා රුපියල් 680ක් අය කෙරෙනු ඇති. හම්බන්තොට සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 810ක්. තංගල්ලේ සිට මාකුඹුර දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 810ක්. තංගල්ලේ සිට මාකුඹුර දක්වා රුපියල් 610කි. මේ අතර, දක්ෂිණ අධිවේගයේ මාතර සිට මත්තල දක්වා වන කොටස, ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර 200යි මීටර 451ක් වූ එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කෙරෙනු ඇති.සැහැල්ලු වාහන සඳහා කොට්ටවේ සිට මත්තල දක්වා වූ ගාස්තුව රුපියල් 750ක්.  කඩවත සිට මත්තල දක්වා රුපියල් 850ක් හා කටුනායක සිට මත්තල දක්වා රුපියල් 950ක් අය කෙරෙනු ඇති.  බර වාහන සඳහා කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 1,400ක්, අය කෙරෙන අතර කඩවත සිට මත්තල දක්වා රුපියල් 1,500ක් සහ කටුනායක සිට මත්තල දක්වා රුපියල් 1,800ක් ද අය කෙරෙයි.  කොට්ටාවේ සිට මත්තල දක්වා රුපියල් 2,400ක්ද, කඩවත සිට මත්තල දක්වා රුපියල් 2,650ක් හා කටුනායක සිට මත්තල දක්වා රුපියල් 3,000ක් අනෙකුත් බරවාහන සඳහා අය කෙරෙනු ඇති.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 11:36

    Latest News