"රුවන්පුර" අධිවේගී මාර්ගයේ සමාරම්භය හෙට (07) අගමැති අතින්.....

මැයි 06, 2021

    ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (07) නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජීවත් වන ජනතාවට සහන ලබා දෙන මාර්ග පහසුකම් ඉතා ශක්තිමත්ව දීර්ඝ කාලයක් පවතින්නට ඒවා ඉදිකර ජනතාව වෙත ජනගත කිරීම පවතින රජයේ මහාමාර්ග පිළිබඳ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරේ.

    මෙහි සම්පුර්ණ දුර කි.මි 73.9 කි. ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ ව්‍යාපෘතියකි. මෙය අදියර 3ක් යටතේ ඉදිකිරීමට නියමිතය. එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කි. මි. 24.3 ක දුර ප්‍රමාණයක් ඉදිකෙරේ. මාගා ඉංජිනේරු සමාගම මෙහි ඉදිකිරීම් සිදුකරයි. මේ සඳහා රුපියල් බිලියන 54.70 ක් වැය වේ. ඉදිකිරීම් කාලය මාස 30 කි.

    "කොවිඩ් වසංගතය හමුවේ වුව ද, රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මුඩු බිමක්ව තිබූ රට අපි වැඩබිමක් බවට පත් කළා. මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේ දී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද, අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය" මෙම රුවන්පුර අධිවේගී මාර්ගය ආර්ථික වශයෙන් ඵලදායී අධිවේගී මාර්ග පද්ධතියකි.

    පානදුර-රත්නපුර (A-08) හා කොළඹ-වැල්ලවාය-මඩකලපුව (A-04) මාර්ගවල පවතින මාර්ග තදබදය අවම වී සුවපහසු ගමනාන්තයක් සඳහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් පහසුකම් සැලසේ. කොළඹ, කලුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් සඳහා සමාජ ආර්ථික ප්‍රතිලාභ මෙමගින් ලැබෙනු ඇත.

    මැණික්, තේ, ඇඟළුම්, සුළු අපනයන බෝග යනාදිය කඩිනමින් වෙළඳපොළට සහ සැපයුම් ස්ථානවලට පහසුවෙන් පිවිසීමට ද හැකිවේ. මාර්ග තදබදය අඩුවීම ඉන්ධන පිරිවැය අඩුවීම, ගමන් කාලය ඉතිරිවීම නිසා ආයෝජකයන්ට මෙම ප්‍රදේශයේ ආයෝජන අවස්ථාවල යෙදිමට මෙම අධිවේගි මාර්ගය තුළ ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 07:40

    Latest News