ලෝක බැංකු සමූහයේ අධ්‍යක්ෂවරිය සෞඛ්‍ය ඇමතිනිය හමුවෙයි

පෙබ 18, 2020

    ලෝක බැංකු සමූහයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය වන කැරන් ග්‍රවුන් මහත්මිය හා ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලය, ලෝක බැංකුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව කටයුතු කරන හවුල්කරුවන් පසුගියදා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය හමුවිය.

    සමාජ විෂමතාවයන් තුල කාන්තා හිංසනය, පුරුෂ හිංසනය, ළමා හිංසනය වැනි කායික හා මානසික හිංසනයන් මගහරවා ගැනිම සහ දැනට ශ්‍රී ලංකාව තුල ඊට අදාලව ක්‍රියාත්මක වැඩසටහන් සහ වැඩපිළිවල සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව මුහුණ දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධනය සම්බන්ධ ගැටලු හා අභියෝග පිළිබදව කරුණු සාකච්ඡා කිරීම හමුවේ අරමුණයි.

    මෙහිදී සංවර්ධන හවුල්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව දැනටමත් ක්‍රියාත්මක කර ඇති විසදුම් සහ වැඩසටහන් පිළිබදව සාකච්ඡා කෙරිණ.

    ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන ආර්ථීක පිරිවැය, ළමාරක්ෂක සේවා සැපයීම, ඵලදායි රැකියාවක නිරත ස්ත්‍රීන් සහ පුරුෂයින් මුහුණ දෙන ගැටලු විසදීම සදහා බහු ආංශික ප්‍රවේශයන් හී අවශ්‍යතාවය සහ සෞඛ්‍ය අධ්‍යාපනය, ශ්‍රමය සහ අනෙකුත් අංශ සමග සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

    හිංසනයන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පරිවාස දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය යන ආයතනවලට යොමු ව නැගී සිටින්නට ගත යුතු පියවර, ක්‍රියා කළ යුතු ආකාරය හා වෛද්‍ය පහසුකම් ලබාගන්නා ආකාරය, තමන්ට සිදු වුන ආසාධාරණය ගැන හඩක් නගන්නට ඉහත අංශ හරහා තවත් ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ආකාරය පිළිබදව ද මෙහිදී දැනුවත් කෙරිණ.

    මෙම හමුව සමාජ විෂමතාවයන් තුල කාන්තා, පුරුෂ, ළමා හිංසනය ඇතුලු කායික හා මානසික හිංසනයන් මගහරවා ගැනිමට ලෝක බැංකුව සමග එක්ව නිවැරදි පිළිතුරක් ලබාදීමට ශ්‍රී ලංකා රජයට ලැබුණු හොඳ අවස්ථාවක් බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    හිංසනය අවම කර ගැනීම සදහා ලෝක බැංකුව විශාල උනන්දුවක් දක්වන බවත්, එහිදි ශ්‍රී ලංකා රජයට සහ ඊට සම්බන්ධ අමාත්‍යාංශ සහ ආයතනවලට මූල්‍යමය ආධාර ඇතුලුව අවශ්‍ය සහයෝගය ලබාදීමටත් ඔවුන් කටයුතු කරන්න සුදානම් බව එම නියෝජිතයින් ප්‍රකාශ කළ බවයි, අමාත්‍යවරිය පවසන්නේ.

    ශ්‍රී ලංකා රජය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුලු ආයතන ස්ත්‍රී, පුරුෂ හා ළමා හිංසනයන් අවම කිරීමට අන පනත් පවා ගෙන එමින් විශාල වැඩකොටසක් මේ වනවිටත් දියත් කර ඇතත්, එය සමාජ ගත කිරීමේ දී නොයෙක් ගැටලු පවතින බවත්, එය සවිබලගැන්වීම සදහා ද මෙය හොඳ අවස්ථාවක් කරගන්නා බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 07:59

    Latest News