අභිමානවත් 72 වැනි නිදහස් සැමරුම අද

පෙබ 04, 2020
  • අභිමානවත්  72 වැනි ජාතික දිනය අදයි.  එහි ප්‍රධාන සැමරුම් උත්සවය, නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. උත්සවය, සජීව ලෙස විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු යොදා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ ජාතික දින උත්සවය ආරම්භ වේ. ජාතික ධජය එසවීමෙන් අනතුරුව, ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙඩිමුර පැවැත්වෙනු ඇති.

     1505 සිට සියවස් 4කට අධික කාලයක් ශ්‍රී ලංකාව, පෘතුගීසි,ලන්දේසි හා ඉංග්‍රීසින්ට යටත්ව පැවැත්විණ. යටත් වජිත පාලනයෙන් මිදීම එවක පාලකයන්ගේ ප්‍රබලම අභියෝගය බවට පත්ව තිබිණ. දීර්ඝ කාලයක් තිස්සේ දරන ලද ප්‍රයත්න මල්ඵල දරමින් 1947 දෙසැම්බර් 10 වැනිදා ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන් ඉදිරිපත් කළ නිදහස් පනතට රාජකීයයන්ගේ අනුමැතිය ලැබිණ.

    ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් බ්‍රිතාන්‍යයන් ඊට අදාළ හිමිකම් නිල වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේ, 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරශ්‍රයේදී. ඩී එස් සේනානායක ශ්‍රීමතාණන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්විය. සිංහල,දෙමළ,මුස්ලිම් නායකයන් විශාල පිරිසක් නිදහස අත්පත් කරගැනීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කළේය. ඊට පුරෝගාමී වූ ස්වදේශික බලවේගය වූයේ ලංකා ජාතික සංගමයයි. ඇතැම් නායකයන් වාර්ගික නියෝජනය අවශ්‍ය බවට ඉල්ලීම් කළත්, සෝල්බරි කොමිසම එය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් පෙන්වා දුන්නේ ජාතිය,වර්ගය පදනම් කරගත් පාලන ක්‍රමයක් දැඩි පරිහානියකට හේතුවන බවයි. මෙරටට ගැලපෙන වෙස්ට් මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙනු ලැබුවේ ඉන් අනතුරුවයි. සෝල්බරි සාමිවරයා එදා කී ලෙසටම ජාතීන් ලෙස බෙදී වෙන්වී ආර්ථික සමෘද්ධිය උදාකර ගත නොහැකියි. ජාතීන් අතර සංහිදියාව උදාර දේශයක පදනමයි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 12:16

    Latest News