නිදහස් සැමරුමට විශේෂ රථවාහන සැලැස්මක්

පෙබ 04, 2020

    72 වන ජාතික දින සැමරුම් උළෙල පැවැත්වෙන අද කොළඹ නගරය ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

    මාර්ග රැසක් වසා තැබෙන අතර තවත් මාර්ග කීපයක ගමනාගමනය සීමා කර තිබේ. මෙය අද අලුයම 4.00 සිට ප.ව. 1.00 දක්වා ක්‍රියාත්මකයි. පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට සහ නෙළුම් පොකුණ දෙසට වාහන ඇතුළුවීම සීමා කර තිබේ. ධර්මපාල මාවත, විජේරාම මාවත, හෝටර්න් පෙදෙස, සොයිසා වටරවුම ආශ්‍රිත අතුරු මාර්ග කිහිපයක් වසා දැමීම සහ ගමනාගමනය සීමා කර තිබේ. විද්‍යා මාවත, මෙට්ලන්ඩ් පෙදෙස නිදහස් මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත සහ නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් හෙට සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව පොලිසිය පවසයි.

    ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහන ලිබර්ටි වටරවුම, ලිප්ටන් වටරමුව ඔස්සේ යුනියන් පෙදෙසට, වෝට් පෙදෙසට සහ ඩින්ස් පාරට ඇතුළුවිය හැකිවේ. හැව්ලොක් පාර තුන්මුල්ල දෙසින් පැමිණෙන රථවාහන තර්ස්ටන් පාර ඔස්සේ මල්පාර, පිත්තල හන්දිය පසුකොට ජේම්ස් පීරිස් මාවතට හා ධර්මපාල මාවතට ඇතුල්විය හැකියි. හෝර්ටන් පෙදෙස ඔස්සේ පැමිණෙන රථවාහන විජේරාම හන්දියෙන් දකුණට හරවා වෝට් පෙදෙස ඔස්සේ ධර්මපාල මාවත, තුන්මුල්ල දෙසට ධාවනය කිරීම සඳහා බෞද්ධාලෝක මාවත ද භාවිත කළ හැකියි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 07:38

    Latest News