රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

ජන 31, 2020

    රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) නියම කර තිබේ.

    ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ සතොස ආයතනය මගින් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ එවක ක්‍රීඩා අමාත්‍යවරයා ව සිටි මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදු කර තිබේ.

    නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට රාජකාරි කටයුත්තක් සඳහා පෙබරවාරි මස 10 වනදා සිට 25 වනදා දක්වා කාලසීමාව තුළ චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බව සදහන් කර ඇත.

    ඒ අනුව අදාල කාල සීමාව සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා තිබේ.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ කාලසීමාව සදහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන සහ විගමන පාලකවරයාට නියම කර ඇත.

    එමෙන්ම මෙම නඩුවට අදාළව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අද සිට දින 14 ක් තුළ අවසර ලබාදෙන ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

    මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා තවත් ඉල්ලීමක් කරමින් මෑතකදී ප්‍රකාශයට පත් කෙරුණු දේශපාලකයෙකු හා අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් අතර සිදුකෙරුණු දුරකතන සංවාදයක් තුළින් තම සේවාදායකයාගේ නමද සඳහන් කර ඇති බවත් මේ පිළිබඳව ඉදිරියේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් පවසා ඇත.

    ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට ද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල තීන්දු කර තිබේ.

    Latest News