ඩෙංගු මර්දනයට තාක්ෂණික අංශයෙන් උදව් ලබා දෙනවා - අමාත්‍ය තිලංග සුමතිපාල

ජන 24, 2020

    තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ඩෙංගු උවදුර මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රමුඛ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ සෞඛ්‍යෙ අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ.

    ඒ පිළිබඳව වූ ප්‍රථම සාකච්ඡාව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාතෘංශයේ දී ඊයේ දින පැවැත්විණි.

    ඩෙංගු උවදුරෙන් නිදහස් රටක් බිහි කිරීමට අදාළව සිදුකළ යුතු ප්‍රායෝගික කාර්යයන් පිළිබඳව දෙපාර්ශ්වය අතර මූලික වශයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

    මෙහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.

    “ජාතික ව්‍යසනයක් බවට පත්ව වරින්වර ඉස්මතු වන ඩෙංගු උවදුර මර්දනයට තාක්ෂණික අංශයෙන් අපේ උදව් ලබා දෙන්න පුළුවන්. මෙහිදී මූලිකවම එය මර්දනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව මත තාක්ෂණික සහයෝගය ලබාදීමයි අපි කරන්නේ.

    අපේ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන වලින් ‍ප්‍රමුඛ සහායක් මේ වෙනුවෙන් ලබා දිය හැකියි.

    ජාතික ව්‍යාපෘතියක් ලෙස තවත් මේ සඳහා වැදගත් වන පාර්ශව සම්බන්ධ කර ගැනීමට අපි කටයුතු කරනවා.

    දැනට ඉහළ මුදලක් වැය වන පරීක්ෂණයක් වන ඩෙංගු වෛරසය ශරීරගත වීම නිශ්චය කර ගැනීමට වන පරීක්ෂණය අඩු මුදලකින් සිදුකිරීමට තාක්ෂණික උපාංගයක් නිර්මාණය කිරීම සහ ඇඳුම් සඳහා මදුරු විකර්ෂක දියර ඇතුළු ඩෙංගුවලට අදාල විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබාදී එම පර්යේෂකයන් දිරිමත් කිරීමට අපි කටයුතු කරනවා.

    ඩෙංගු නිසා වටිනා මිනිස් ජීවිත වලට සිදුවන හානි පිළිබඳව සැලකිල්ලට ගෙන එය මර්දනය කිරීමේ පර්යේෂණ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ගැටළුවක් කර නොගත යුතුයි.

    පර්යේෂණ ප්‍රතිපාදන සඳහා අපේ පූර්ණ සහාය ලබා දෙනවා. ඩෙංගු වලින් නිදහස් රටක් යන ලේබලය අපේ සංචාරක කර්මාන්තයේ උන්නතියට ද ඉතා වැදගත් වෙනවා” යනුවෙන් පැවසීය.

    ඩෙංගු උවදුර මර්දනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී කෙතරම් උත්සාහ කළද ඩෙංගු වසංගතය වරින්වර ඉස්මතු වීමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ පර්යේෂණ ආයතනවල තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ එය පාලනය කිරීමට විධිමත් වැඩපිලිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බව මෙහිදී අනාවරණය විය.

    මෙවැනි ජාතික වශයෙන් වැදගත් ගැටලුවලදී විවිධ පාර්ශව තනි තනිව විවිධ පිළියම් යෙදීමට කටයුතු කිරීමට වඩා එම පාර්ශව සාමූහිකව තම දැනුම හුවමාරු කර ගැනීමට කටයුතු කිරීම තුළින් මෙවැනි ජාතික ගැටළුවලට පිළියම් යෙදීම වඩා ඵලදායි මෙන්ම පහසුවෙන් ඉලක්ක ජය ගැනීමටද ඉවහල් වන බව ද අනාවරණය විය.

    ඩෙංගු ව්‍යාප්තිය සඳහා බලපාන සුළඟේ වේගය, වැඩි වශයෙන් ඩෙංගු වර්ධනය වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, ඉදිකිරීම් ක්ෂේත්‍ර හා වැඩබිම් ආශ්‍රිත පොළොව මට්ටමෙන් ඉහළ තලය, පොළොව මට්ටම සහ පොළොව මට්ටමෙන් පහළ තලය යන ස්ථර සැලකිල්ලට ගෙන ඩ්‍රෝන තාක්ෂණය හරහා වීඩියෝ සහ ඡායාරූප වාර්තා, සිතියම් ලබාගත හැකි ලෙස භූගෝලීය තොරතුරු පද්ධතියක් නිර්මාණය, නැනෝ තාක්ෂණය හරහා මදුරුවන් ඒකරාශිකරණ ක්‍රමවේදයක් තුළින් මදුරු ගහනය විනාශ කිරීම ආදී කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකාරී කමිටුවක් නිර්මාණය කිරීමටද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චින්තක ලොකුහෙට්ටි, ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ, ස්ලින්ටෙක් ආයතනයේ අධ්‍යක්ෂ, මංජු ගුණවර්ධන යන මහත්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පළාත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News