කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම 2019 වසරේ 40% යි...

ජන 24, 2020

    2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ථ විදේශ ගතවීම්වලින් 40%කි.

    එම වර්ෂයේ පිරිමින් 122,143 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන අතර, 2019 වසරේ විදේශ රැකියා සඳහා යොමු වූ සමස්ථ ශ්‍රමිකයින් ප්‍රමාණය 203,141කි.

    වැඩිම කාන්තා ශ්‍රමිකයින් පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 30,031කි. පිරිමි ශ්‍රමිකයින් වැඩි වශයෙන් කටාර් රාජ්‍යයට රැකියා සදහා යොමු වී ඇති අතර, එම ප්‍රමාණය 36,161කි.

    එසේම පසුගිය වසරේ වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් 9041 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, පුහුණු ශ්‍රමිකයින් 62,687 දෙනෙකු එම වසරේ විදේශ රැකියා සඳහා යොමු වී තිබේ.

    අර්ධ පුහුණු හා මධ්‍යම පුහුණු ශ්‍රමිකයින් 9478 දෙනෙකු 2019 වසරේ විදේශ රැකියා සඳහා යොමු වී තිබෙන අතර, ලිපිකරු හා ඒ ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රමිකයින් 9155 දෙනෙකු විදේශ ගතවී තිබේ.

    ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් 61,603 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, නුපුහුණු ශ්‍රමිකයින් ලෙස ලාංකිකයින් 51177 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

    2018 වසරේ ශ්‍රමිකයින් 211,229 දෙනෙකු විදේශ රැකියා සඳහා යොමු වී ඇති අතර, ඉන් කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 81,511 කි. 2018 වසරේ විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 129,718 කි.

    2019 වර්ෂය තුළ විදේශ ගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 3494 ක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 2616ක් සඳහා විසඳුම් ලබාදී තිබේ.

    Latest News