GSP+ බදු සහනය 2023 දක්වා

ජන 19, 2020

    GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී එම කොමිසමේ, ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorsten bargfarde) මහතා සදහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබා දීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. 

    යුරෝපා සංගම් නියෝජිතයන් සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මෙම හමුව එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. 

    වෙළද වරණයන් පිළිබද පොදු ක්‍රමය හෙවත් GSP යුරෝපා සංගමය වෙත අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට හදුන්වා දුන් බදු සහනයකි. GSP+ යනු GSP සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි.

    යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දි එම මෙහෙයුමේ පෙන්වා දුන්නේ GSP+ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇගළුම් ක්ෂේත්‍රයට බවයි. ඇගළුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බව ද ඔහු මෙහි දි පෙන්වා දුන්නේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ඇගළුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි.අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇගළුම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සදහා දක්වන සහයෝගය පිළිබද ව රජයේ ස්තූතිය පළ කරන බව ද ප්‍රකාශ කළේය. 

    යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා කැමැත්තෙන් සිටින බව යුරෝපා සංගම් උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    යුරෝපා සංගම් රටවල්වලට ශ්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙස ද ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ දැනටමත් ඒ පිළිබද ව අවධානය යොමුව ඇති බවයි.

    මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 12:33

    Latest News