රාජිතට ඇප දීමට එරෙහි පෙත්සමේ නොතිසි පිළිබඳ නියෝගය ලබන 21 දා (වීඩියෝ)

ජන 17, 2020
  • හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කර රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබේ.

    නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ සලකා බැලිණි.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සහ අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කර තිබේ.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර ඇත.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 20:16

    Latest News