Update - අසර්බයිජාන් හිදී මියගිය ශිෂ්‍යාවන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට පියවර (වීඩියෝ)

ජන 11, 2020
  • අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

    අසර්බයිජාන්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව රවිනාථ ආරියසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රාහනය වීමේ ජනවාරි 09 වැනිදා සිදුවිය.

    එම නේවාසිකාගාරයේ පහත මාලයේ ඇති වු ගින්නෙන් පිටවු දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවයෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටි.

    මියගොස් ඇති ශිෂ්‍යාවන් තිදෙනා කඩුවෙල සහ පිළියන්දල පදිංචි කරුවන්වේ. මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බව වාර්තා වේ.

    මියගිය මෙම ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

    අසර්බයිජානයේ ගින්නකින් මියගිය මෙරට සිසුවියන්ගේ දේහයන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට (14:24)

    මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන අසර්බයිජානයේ බාකු අගනුවර නේවාසිකාගාරයක ගින්නකින් මියගිය ශ්‍රී ලාංකික සිසුවියන්ගේ දේහයන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික අංශවල සහය ඇතිව සිද්ධිය අවශ්‍ය නිල ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

    අනතුරුට ලක්ව ඇත්තේ බටහිර කැස්පියානු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් තිදෙනෙක්. ඔවුන් අවුරුදු 21,23 හා 25 යන වයස්වල පසුවෙයි. විශ්වවිද්‍යාලය නේවාසිකාගාර පහසුකම් සපයා නොමැති බැවින්, සිසුවියන් බාකු අගනුවර සබාලි ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරය නවාතැන් ගෙන සිටි බවයි, අසර්බයවිජානයේ ඒ.පී.ඒ. රූපවාහිනිය සඳහන් කරන්නේ.

    නේවාසිකාගාරයේ ගින්න දුටු අසල්වැසීන් එහි කඩාවැදී සිසුවියන් බේරා ගැනීමට උත්සව දරා ඇතත්, ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව හෙළිවී තිබේ. ඔවුන් මියයන්නට ඇත්තේ ගින්නට හසුවීමෙන් නොව ඉන් නැගුනු දුම ආග්‍රහණය වීමෙන් බව මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණය විය. බාකු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හෝ කොන්සල් කාර්යාලයක් ස්ථාපනය කර නැහැ. එබැවින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ අදාළ නිල කටයුතු සිදු කෙරෙන බවයි, විදේශ අමාත්‍යාංශය අප කළ විමසුමක දී සඳහන් කළේ.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:24

    Latest News