දේශපාලන පළි ගැනීමට ලක්වූ රාජ්‍ය සේවකයන් ගැන සොයන්න කොමිසමක්

ජන 11, 2020

    2015 ජනවාරි මස පළමු වැනිදා සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ.

    පසුගිය 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

    එම කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතනවල දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන්මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.

    2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ද ජනපති කොමිසම මඟින් කරුණු සොයා බැලීමට නියමිතයි.

    මෙම ජනාධිපති කොමිෂන් සභාව මඟින් මාස 6 ක කාලයක් තුළදී ඊට අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දිය යුතු වෙයි.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 08:54

    Latest News