'ඉන්ෆ්ලූවන්සා' ව්‍යාජ ප්‍රවෘත්ති ගැන සැළකිලිමත් වන්න...සෞඛ්‍ය අමාත්‍යාංශය

ජන 09, 2020

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රජාවට දන්වා සිටියි.

    සෑම වසරකම ඊසාන දිග මෝසම් වර්ෂාපතනය සමග ඉන්ෆ්ලූවන්සා රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව පසුගිය වසරේ ද (2019) නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී රෝගීන් වැඩිපුර වාර්තාවීමක් පෙන්නුම් කරන ලදී. නමුත් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසය තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව පැහැදිලි අඩු වීමක් දක්නට ලැබුනු අතර, ඉදිරි කාලය තුල ඉන්ෆ්ලූවන්සා රෝගයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවයි, ඔහු පවසන්නේ.


    මෙම සෘතුමය (Seasonal) ඉන්ෆ්ලූවන්සා වෛරස මගින් ඇති කරන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ නොහොත් ‘Flu’ රෝගී තත්ත්වය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර බොහෝ විට ප්‍රතිකාර රහිතවම සුව අතට පත්වේ.

    නමුත් ඇතැම් පුද්ගල කාණ්ඩ වලට විශේෂයෙන් ගර්භනී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් හා නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා රෝගීන් වැනි රෝග වලින් පෙළෙන්නන් හට ඉන්ෆ්ලූවන්සා වෛරස ආසාදන තත්වය තීව්‍ර වීමට හෝ සංකූලතා ඇති වීමට වැඩි ඉඩක් ඇති බැවින් එම අවදානම් කාණ්ඩ වලට අයත් රෝගීන් එවැනි රෝග ලක්ෂණ ඇතිවූ විට ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගෙන අදාල වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

    එමගින් මෙම ඉන්ෆ්ලූවන්සා රෝගය උත්සන්න වීම හා සංකූලතා ඇතිවීම අවම කරගත හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින කුමන වයස් කාණ්ඩයක අයෙකුට වුවද මෙම රෝග ලක්ෂණ ඇතිවී යම් තීව්‍ර වීමක් හෝ ශ්වසන අපහසුතාවයක් ඇතිවුවහොත් ඔවුන් ද හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

    රෝගය බෝවීම හා පැතිරීම පාලනය සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසු වෙයි.

    විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් හා අවදානම් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් අනවශ්‍ය ලෙස අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීම, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යාම අවම කිරීම මගින් මෙම රෝගය පැතිරීම තවදුරටත් පාලනය කරගත හැකිය.


    ඒ අනූව දැනට පවතින මෙම රෝගී තත්වය සාමාන්‍ය රෝගී තත්වයක් පමණක් වන අතර අළුත් වෛරසයක් මගින් ඇති වූ හඳුනා නොගත් රෝගී තත්වයක් නොවන බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 12:44

    Latest News