කෝවිඩ් පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙලක්

ජූනි 28, 2021

    COVID - 19 තෙවන රැල්ලත් සමඟ සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේද රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් රෝගීන් ප්‍රමාණයේ වර්ධනයක් සහ රෝගීන් යොමු කරන රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි තදබදයක් නිර්මාණය වී ඇත.

    එම තත්ත්වය බොහෝ දුරට පාලනය කර තිබුන ද බස්නාහිර පළාත හා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ දිස්ත්‍රික්කවල රෝගීන් රෝහල්වලට යොමු කිරීමේ යම් ප්‍රමාදයක් ඇති බැවින් මේ පිළිබදව සෞඛ්‍ය අංශවල අවධානය දැඩිව යොමුව ඇත.

    මෙහිදී රජයේ වෛද්‍ය නිළධාරී සංගමය, වෙනත් විශේෂඥ වෛද්‍ය සංගම් කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාවය අවධාරණය කරමින් රෝගීන් නිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන තෙක් නිවෙස් වල රඳවා ගැනීම සිදු වන නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, නැතහොත් රෝගීන් ඇතුළත් කිරීමේ ප්‍රමාදය නිසා රෝගය පැතිර යාමටත්, සංකූලතා හා කෝවිඩ් වලින් මිය යන ප්‍රමාණය වැඩි වීමටත් එය හේතුවිය හැකි බව පෙන්වා දෙන ලදි.

    ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්විම යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙසින් සකස් කරන ලද 1390 සෘජු ඇමැතුම් අංකයට සම්බන්ධ කර ඇති නිවාස ආශ්‍රිතව කෝවිඩ් රෝගීන් රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙල අනුව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක්කර, රෝගීන් රෝහල් ගත කිරීමේ ක්‍රමානුකූල විශේෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇත. එහිදී නි‌වෙස් තුළ රඳවාගත හැකි, රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂණ අවම රෝගීන් ඔවුන්ගේ අවධානම් තත්වයන්, නිවෙස් වල රැදී සිටීමේ හැකියාව, අවට ප්‍රදේශයේ තත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මූලික කරගනිමින් රෝහලකට යොමු කරන තෙක් නිවෙස් වල රඳවා ගැනීමට තෝරා ගැනීමක් සිදුවනු ඇත.

    ඒ මගින් රෝග ලක්ෂණ ඇති, වයස 60 ට වැඩි විවිධ සංකූලතා සහිත අවධානම වැඩි රෝගීන්ට හා අවධානම් ඇතී වීමේ ප්‍රණනතාව වැඩි රෝගී කාණ්ඩ වලට රෝහල් ගත කිරීමේදී මූලිකත්වය ලබා දීමට හැකිවන බැවින් රෝහල් ධාරිතාව මනා කළමනාකාරීත්වයකින් යුතුව භාවිතා කල හැකිවනවා පමණක් නොව වෛද්‍ය අවධානය වැඩිපුර අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාව ලැබීම තුලින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    නිවෙස් තුළ රඳවා ගැනීමට තෝරා ගන්නා රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකථන මඟින් අධීක්ෂණයට ලක්කරන ක්‍රමවේදයක් ජාත්‍යන්තරව පිළිගත් අධීක්ෂණ ක්‍රමවේද යටතේ සිදු කරනු ඇත. මෙමගින් ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව විසින් සක්‍රීයව රෝගීන් පරීක්ෂණයට භාජනය කරමින්, නිවෙස් තුළ රැදීමට සුදුසු රෝගීන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. රජයේ වෛද්‍ය නිළධාරී සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සෘජුව මෙම සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කරනු ලබන අතර, පවුල් වකෛද්‍ය මහාචාර්යවරුන්, විද්‍යා මහාචාර්යවරුන්, කායික වෛද්‍ය, හදිසි ප්‍රතිකාර වෛද්‍ය ළමා රෝග, කාන්තා රෝග ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයන් ඇතුළු වෛද්‍යවරුන් 400 කට අධික ප්‍රමාණයක් මෙයට දායකත්වය දක්වයි.

    මෙම සමස්ථ ක්‍රියාවලියේ දී ස්ථාපිත කරනු ලබන ජාතික දුරකථන මධ්‍යස්ථානය සදහා “ලංකා බැංකුව” අනුග්‍රහය දක්වන අතර, රෝගීන් හා වෛද්‍යවරුන් සම්බන්ධීකරණ කටයුත්තට “ඩයලොග්” ආයතනය අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. මෙය සම්පූර්ණයෙන්ම පරිගණක තාක්ෂණය යොදා ගෙන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකරනු ලබනයි, ඒ සදහා “වේව් නෙට්” ආයතනය තාක්ෂණික සහාය සපයා ඇත.

    “1390” නිවාස ආශ්‍රිතව කොවිඩ් රෝගීන් රැකබලා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහභාගීත්වයෙන් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලංකා බැංකුවේ සභාපති කංචන රත්වත්ත, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ, “වේව් නෙට් ගෲප්” අධ්‍යක්ෂ සුරේන් පින්ටෝ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News