Update : වසර 03ක සිරදඬුවමක් නියම වූ සරණට අභියාචනාධිකරණයෙන් ඇප (වීඩියෝ)

ජන 07, 2020
  • රාජ්‍ය මුදල් අවභාවිතයට වසර 03ක සිරදඬුවමක් නියම වූ සරණ ගුණවර්ධන, ඊට එරෙහිව කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති අතර ඉන්පසු ඔහුට ඇප ලබා දී තිබේ.

     

    රාජ්‍ය මුදල් අවභාවිතයට DLB හිටපු සභාපති සරණට වසර 03ක සිරදඬුවමක් - (11:30)

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිය දි රජයට පාඩුවක් සිදු කිරිමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම ක‍ළේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළාය.

    2005 වසරේ මැයි පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් 30 වනදා දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිය දි රුපියල් 960000 කට වාහන තුනක් බදු ක්‍රමයට ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණ.

    විත්තිකරු දේශපාලනඥයෙකු බැවින් ඉදිරි මැතිවරණ කීපයක් ඇති බැවින් ඔහුගේ දේශපාලන දිවියට හානියක් නොවන පරිදි අත්හිටවූ සිර දඬුවමක් නියම කරන ලෙස සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඉල්ලා සිටියේය. විත්තිකරුට බරපතළ සිර දඬුවම් නියම කරනු ලැබුවොත් ඔහුගේ දේශපාලන ජීවිතයටත් පවුලේ සාමාජිකයන්ට හා දරුවන්ටත් වැඩි අගතියක් සිදු විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් කාරුණිකව සලකා බලන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    දූෂණය නැමැති වරද වර්තමානයේ සමාජය තුළ සුළභව සිදු කරමින් පවතින බවත් එය මුලිනුපුටා දැමීම සඳහා ඉවහල්වන තීන්දුවක් අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත ඇන්තනි මහතා සඳහන් කළේය. උසස් නිලතල දරණ පුද්ගලයින් සිදුකරන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් සමාජයට සිදුවන හානිය මෙන්ම රජයට සිදුවන මූල්‍යමය හානිය අය කර ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ඔහු පෙන්වා දුනී. එ අනුව සමාජයේ සෙසු පුද්ගලයින්ට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 20:26

    Latest News