සරණ ගුණවර්ධන නඩු 8 කින් නිදහස්

ජූලි 30, 2021

    අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර ඇත.

    ඒ, 2007 වසරේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩු 8 කිනි.

    මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබීය

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේ ලිඛිත විධානය ඉදරිපත්වී නොමැති බැවින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවයි.

    සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව පවත්වාගෙන යාම අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසයි.

    ඒ අනුව කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු 8 කින් සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

    Latest News