SPC හිටපු සභාපති රූමිට සහ සුදුවූන් මාධ්‍ය පැවැත්වු දෙදෙනාට ඇප

ජන 06, 2020

    ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ට මුදල් ලබාදුන් බව කියමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව සැකකරුවන් තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරිණ. ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට නියෝගයේ සඳහන් වේ.

    සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සරත් කුමාර සහ සංජිව මදනායක යන සැකකරුවන්ගේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයින් මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ ලබා දීමට සූදානම් බවයි.

    මෙම සැකකරුවන්ට එරෙහිව එල්ල කරන චෝදනා මොනවාද යන්න පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදි රහස් පොලිසියෙන් විමසා සිටියේය.

    මෙම සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වූ මිනීමැරුම් චෝදනා ඉදිරිපත් නොකරන බවත් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 169, 140 සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 80 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බව රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.

    මෙම නඩුවේ 4 වන සැකකරු වු රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා වෙනුවෙන් පෙනී සිටියි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ තම සේවාදායකයාට එල්ල කර ඇති වැරදි ඇප දිය හැකි වැරදි බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාගේ බිරින්දෑවරුන්ට ඉකුත් නඩු දිනයේ අධිකරණ භූමියේදී උපැස් යුවලක් පැළඳගත් නීතිඥවරයෙකු පැමිණ ප්‍රකාශයක් ලබා නොදෙන ලෙස බලපෑම් සිදුකර ඇති බව දිලීප පිරිස් මහතා කියා සිටියේය.

    එමෙන්ම ඇමති විසින් නීතිඥවරු ලබාදෙන බවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ගේ ඥාතීන්ට දැනුම් දී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුනි. මෙය විමර්ශනයට කෙරුණු ඍජු බලපෑමක් බවත් එබැවින් ඇප ලබාදුනහොත් විමර්ශන වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි අනතුරු අඟවා සිටියේය.

    රූමි මොහොමඩ් නමැති සැකකරුට එල්ල කර තිබෙන චෝදනා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි සංඥය නොවන වැරදි බව රහස් පොලිසිය අමතමින් මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. සැකකරු පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණයේ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියෙන් විමස සිටියාය.

    අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ තමා නොවන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කියා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බවත් මේ දක්වා සිදුකර ඇති විමර්ශන වලට එම සැකරුවන් බාධාවක් සිදු කර ඇති බවක් පෙනී නොයන බව ද ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට ද නියම කළාය.

    එදින සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද මහේස්ත්‍රාත්වරිය නියම කරනු ලැබුවාය.

    රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රෝහල්ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නේවාසික ප්‍රතිකාර වලින් බැහැර වූ පසුව රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතු බවට නියෝග කර සිටියාය

    Latest News