“සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්”..72 වැනි නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

ජන 04, 2020

    72 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. "සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්" මෙවර නිදහස් දින තේමාවයි.

    එය පැවැත්වෙන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්. ‍ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමක් අද (3) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති අතර සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ ජාතික දින උත්සවය පැවැත්වීමට එහිදී තීරණය විය.

    පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව 30% අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. තම ජීවිත නොකතා අනෙක් අයගේ ජීවිත බේරා ගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාලිය සඳහා එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඊට අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය විය.

    ජාතික දිනය දා, සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 07:30

    Latest News