19 දුර්වලතා නිවැරදි කිරිම පාර්ලිමේන්තුවෙන්ම - ජනපති

දෙසැ 06, 2018

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන වශයෙන් ගැටලු සහගත වන කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපතිතුමා කැපවී සිටින බව අවධාරණය කෙරේ.

    ජනාධිපති මාධ්‍ය අංශය ඒ ගැන පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ ජනවාරි 08 වැනි දින ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එතුමාගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස 19 වැනි සංශෝධනය සම්මත කර ගන්නා ලදි. දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වය විසඳීම එහි අරමුණ විය.

    එම සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන අතර, අපගේ මාතෘභූමිය නූතන යුගයට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය වූවකි. 19 වැනි සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, එය සංශෝධනය විය යුතුය.

    එහි හරය සහ එමගින් ඇති කරනු ලැබ ඇති ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්‍ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කිරීමට ජනාධිපතිතුමා කැපවී සිටී. එහි දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නාවූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ බව ද නිවේදනයේ දැක්වේ.

    Latest News