ඉහළ ප්‍රමිතියෙන් සාධාරණ මිලකට ඖෂධ ගැනීමේ ප්‍රතිපත්තියක්

ජන 01, 2020

    ප්‍රතිකාර සේවාවන් සදහා රජය විශාල මුදලක් වැය කරන බැවින් සියළු ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන සාධාරණය ඉෂ්ඨ කරන වසරක් බවට 2020 පත්විය යුතු යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

    2020 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය මේ බව පැවසීය.

    මෙහිදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

    නව වසර එළැඹෙනුයේ වත්මන් රජය බලයට පත් වී ඉතාම කෙටි කාලයක් ඇතුළත බවත්, ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලගා කර දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙනු ලැබිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය- “පළමුව ඔබ සියලු දෙනාට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්, ඔබගේ ජිවිත වල බලාපොරොත්තු ජයග්‍රහණ ඉෂ්ඨ වන, සතුටින් රාජ්‍ය සේවයේ යෙදන්න පුළුවන් සුබ නව වසරක් වේවායි සුබ පැතුම් මේ අවස්ථාවේ දී මා පිළිගන්වනවා.”

    “මේ රටේ බදු ගෙවන ජනතාවට වඩා හොද සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැක්කේ කෙසේ ද කියන කථිකාවත අරඹමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් ඇති කරන්නට ඔිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා වාගේ ඉහළ ප්‍රමිතියෙන් යුත් සහ සාධාරණ මිලකට ඖෂධ ලබා ගැනීම අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය විය යුතුයි. ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන් දෙස සානුකම්පිතව බැලිය යුතු වෙනවා. රුපියල් බිලියන 190 ක් ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය සේවා සදහා වෙන් කර තිබුනා. එවැනි මුදලක් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් රටේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට වෙන් කළාම ඒ බදු ගෙවන ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වුනා ද, ඉදිරියට එම සාධාරණය ජනතාවට ලබාදෙන්නේ කොහොම ද කියන ඒක කල්පනා කරන්න ඔින. කොච්චර මුදල් වියදම් කළත් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන පුද්ගලයා සතුටින් රෝහලෙන් එළියට එන්නේ නැත්නම්, ජනතාව සෞඛ්‍ය සේවාව ගැන තෘප්තිමත් නැත්නම් සෞඛ්‍ය සේවකයින්ගෙන් එම යුතුකම ඉෂ්ඨ වෙලා නැහැ. සියළු දෙනාටම සාධාරණය ඉෂ්ඨ කරන වසරක් ලෙස මේ වසර පත්කර ගත යුතුයි.”

    “ඒ වගේම අමාත්‍යාංශයේ වැඩ කරන කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව, සතුටෙන් වැඩ කරන්න ඔින. කිකිළි රත්තරන් බිත්තර දානවා කියලා ඒ් කිකිළි මැරුවොත් රත්තරන් බිත්තර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩකොටස ඉටුකරලා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන ඔබ හොදින් පෝෂණය කර ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. ඔබ තෘප්තියෙන් වැඩ කරන කොට ඉතා හොද සේවාවක් ජනතාවට ලබාදිය හැකි වෙනවා. එම වගකිමත් අපි ඉටු කරනවා“ යැයි ඇය පැවසිය.

     

    Latest News