සීතල කාශ්මීරයේ උණුසුම AP

සීතල කාශ්මීරයේ උණුසුම

අගෝ 12, 2019

    පසුගිය සතියේ සිට කාශ්මීර ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබේ. ඊට හේතුව ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට, යම් සීමාවන් පැනවීමයි.

    එම සීමා හේතුවෙන් එම ප්‍රදේශයේ "මානව හිමිකම්වලට බරපතළ බලපෑම් එල්ල විය හැකි" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර තිබේ.

    ka 1

    GETTY IMAGES

     

    අර්බුදයට හේතුව

    ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් ලබා දී ඇත. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි. පසුගිය දා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව විසින් ඉන්දීය පාලිත කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දෙනු ලබන කොටස අහෝසි කරනු ලැබිණි.

    ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අම්ත් ෂා විසින් අදාළ පියවර පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ලැබුවේ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේය. ඊට ජනාධිපතිවරයාගේ අත්සන යොදනු ලැබූ වහාම එය නීතිගත වනු ඇතැයි ඔහු එහිදී පැවසීය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතිය හැකි යැයි අමාත්‍ය ෂා පවසා ඇතත්, ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රණ සභාවක ඡන්දයක් නොපැවැත්වෙනු ඇත. ඉහත කී පියවර නිවේදනය කරනු ලැබීමත් සමග නීති සහ අධිකරණ අමාත්‍යංශය විසින් යෝජිත වෙනස්කම්වලට අදාළ කරුණු දැක්වෙන, ජනාධිපති විසින් අත්සන් නොකරන ලද නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    අදාළ වගන්තිය අවලංගු කිරීමට ගත් පියවර විශාල වශයෙන් විවේචනයට ලක්ව ඇති අතර ඇතැම් නීති විශාරදයන් විසින් එය හඳුන්වනු ලබන්නේ ව්‍යවස්ථාවට එල්ල කෙරුණු ප්‍රහාරයක් ලෙසිනි.

    අදාළ නීති ප්‍රතිපාදනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රතිඥා දී තිබිණි. මැයි සහ ජුනි කාලය තුළ පැවති මහමැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය.

    370 වෙනි වගන්තිය මගින් ඉන්දීය පාලිත ජම්මු කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවක්, වෙනම ධජයක් මෙන්ම විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු හැර සෙසු සියලුම අංශ සම්බන්ධයෙන් ස්වාධීන බලතල ලබා දී තිබිණි.

    ka 2

    BBC

     

    කාශ්මීරයේ ප්‍රතිචාරය

    අදාළ පියවර මගින් ඉන්දියාව භූමියක් අල්ලා ගනු ලබන හමුදාවක් බවට වහාම පත්ව ඇතැයි ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරිය මෙහුබූබා මුෆ්ති කියා සිටියාය.

    "ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුම දිනය ලෙස අද සටහන් වෙනවා" යනුවෙන් ඇය නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වේ. එමෙන්ම ආණ්ඩුව "ඒකපාර්ශ්විකව ගත් තීන්දුව නීතිවිරෝධී මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි" බවද ඇය එහි සඳහන් කර තිබේ.

    අදාළ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර මෙහුබූබා මුෆ්ති ඇතුළු හිටපු මහඇමතිවරුන් දෙදෙනෙකු නිවාස අඩස්සියට ගැනිණි. ප්‍රාන්තය තුළ මහජන ඒකරාශිවීම් තහනම් කරනු ලැබ ඇති අතර ජංගම දුරකතන සබඳතා සහ අන්තර්ජාල පහසුකම් සීමා කර ඇත.

    අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යවනු ලැබූ අතර සංචාරකයන්ට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුණි.

    ka 3

    BBC

    පාකිස්ථානයේ ප්‍රතිචාරය

    ඉන්දීය ආණ්ඩුව කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් යයි සඳහන් කළ පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්, ඉන්දියාව වාර්ගික යුද්ධයක නිරතව සිටින්නේ දැයි බියක් ඇති කෙරෙන බවත් කියා සිටියේය. ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දියාව ගත් තීන්දුවට එරෙහිව සටන් කරන බවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මීට ඉහතදී ප්‍රතිඥා දී තිබිණි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළත් එම සටන දියත් කරන බවය. 

    සිය රටේ සිටින ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා නෙරපා දමන බව සහ වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බව පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමත් සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම තවත් උග්‍ර වී ඇත.

    "ඉන්දියාව, කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන දරුණු ක්‍රීඩාවක යෙදී සිටිනවා," යැයි පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මෙහ්මූද් කුරේෂි සඳහන් කළේය.

    කාශ්මීර් කැරලිකරුවන්ට සහාය දෙන බවට ඉන්දීය බලධාරීන් පාකිස්ථානයට චෝදනා කරන අතර, ඉස්ලාමාබාද් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටින කාශ්මීරවාසීන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහයෝගය දැක්වීමක් පමණක් තමන් සිදු කරන බව පාකිස්තානය පවසයි.

    ඉන්දීය පාලිත කාශ්මීරය සතු විශේෂ බලතල ඉවත් කිරීම තුළින් මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රාන්තයේ ජනසංයුතියේ වෙනසක් කිරීමට ඉන්දියාවට අවස්ථාව ලැබෙන බව පාකිස්තාන් අගමැතිවරයා පෙන්වාදෙයි.

    ඉන්දියාව, කාශ්මීරය තුළ වාර්ගික ශුද්ධයක් සිදු කරනු ඇද්දැයි මට බියක් දැනෙනවා" යයි අගමැති ඛාන් අනතුරු ඇඟවීමක් ද කරයි.

    "වෙනත් ජන කණ්ඩායම් කාශ්මීරයට ගෙන එමින් ඔවුන් ප්‍රාන්තයේ බහුතරය බවට පත් කිරීම සඳහා ඉන්දියාව යත්න දරාවි. එවැනි තත්වයක් යටතේ කාශ්මීරයේ පාරම්පරික ජනතාව එහි වහලුන් බවට පත් කිරීමක් මිස ඔවුන්ට ලැබෙන වෙනත් දෙයක් නැහැ" අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

    ka 5

    AFP

    විරෝධය

    ඉකුත් සිකුරාදා (09) පැවති මුස්ලිම් යාඥාවලින් පසු දහස් ගණනක පිරිසක් ඉන්දීය පාලිත කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයේ විරෝධතාවක නිරත වූහ.නමුත්, මෙවැනි විරෝධතාවක් නොපැවතුණු බව ඉන්දියානු රජය ප්‍රකාශ කර සිටී.

    කාශ්මීරයට විශේෂ බලතල ලැබෙන ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වෙනි වගනිතිය ඉන් ඉවත් කිරීමත් සමග පනවන ලද ඇඳිරි නීතියෙන් පසු විශාල පිරිසක් ඒකරාශී වූ පළමු අවස්ථාව මෙයයි.

    ka 4

    REUTERS

    ඉන්දියාව සහ පාකිස්තානය අතර පිහිටි මතභේදයට තුඩු දී ඇති එම කලාපයට දෙරටම හිමිකම් කියති. නමුත් ඉන්දියාව සහ පාකිස්තානය විසින් කාශ්මීර කලාපයේ කොටස් වෙන්ව පාලනය කරනු ලබයි. කාශ්මීරය බෙදා පාලනය කරනු ලැබීමේ ආරම්භයේ පටන්ම ඉන්දීය පාලිත කාශ්මීරය තුළ දිගින් දිගටම පවතින බෙදුම්වාදී කැරලි හමුවේ දශක තුනකට අධික කාලයක් තුළ දහස් ගණනක් මරණයට පත්ව ඇත.

    ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම න්‍යෂ්ටික බලවතුන්ය. හිමාලය ආශ්‍රිත මේ කලාපය මුල් කර ගනිමින් ඔවුන් දෙවතාවක් යුද වැදී ඇත.

     

    (බීබීසී ඇසුරෙන්)

    Latest News