වකුගඩුව දන්දී විහාරස්ථානය හදන හිමිනමක් (වීඩියෝ)

ජන 07, 2019
  • වකුගඩුවක් දන්දීමෙන් ලද  මුදලින් සිය විහාරස්ථානය ඉදිකිරීමේ නිරත භික්ෂූන් වහන්සේ නමක පිළිබඳ පුවත සැලවීමත් සමඟ දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් එම විහාරස්ථානයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙති.

    මේ පුවත පසුගියදා වාර්තා වූයේ අනුරාධපුර, පළුගස්වැව, වයාඋල්පත ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයෙනි.  විහාරාධිපති පූජ්‍ය ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියන් කුඩා සාමනේර හිමිනමක සමඟ දැඩි දුෂ්කරතා මධ්‍යයේ එහි වැඩ වෙසෙන ආකාරය පිළිබඳව මාධ්‍ය මගින් පසුගියදා අනාවරණය කරනු ලැබීය.  එහි දී හෙළි කෙරුණේ නන්දරතන හිමියන් සිය වකුගඩුවක් දන්දීමෙන් ලැබුණු මුදලින් විහාර ආවාසගෙයි ඉදිකිරීම් සිදුකරමින් සිටින බවයි.

    මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහ විදේශීය ශ්‍රී ලාංකික පිරිස් විහාරස්ථානයට පැමිණ අඩු පාඩු සියල්ල සම්පූර්ණ කරමින් සිටිති.  විහාරවාසී සාමනේර හිමියන්ගේ අධ්‍යාපන කටයුතු ඔස්ට්‍රේලියාවේ පරිත්‍යාගශීලියෙකු විසින් මාපිය කැපකරු ක්‍රමය යටතේ භාරගෙන තිබේ.  වසර ගණනාවක් කිසිඳු අයෙකුගේ නෙත නොගැටුණු පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තම විහාරස්ථානයට ආධාර උපකාර කිරීම සඳහා මේ වන විට අති විශාල පිරිසක් පැමිණෙමින් සිටීම පුදුමය දනවන කරුණක් බව ද පූජ්‍ය ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියෝ පවසති. 

    විහාරස්ථානයේ අඩු පාඩු සම්පූර්ණකර දීමට ජනාධිපතිතුමාගේ සහ බුද්ධශාසන අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දුන් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    temple1 px 900 19 01 07

    temple112 px 900 19 01 07

    temple12 px 900 19 01 07

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 16:26

    Latest News