"සේන් ගඟුලේ උකුලේ පිහිටි ආදරවන්තයන්ගේ නගරය" - පැරිසිය

ජන 19, 2020

    යුරෝපයේ අන් දේශයන් පමණටම ශීත ඍතුව ප්‍රංශය [France ] වෙත කරදර නොකලද , වසරේ වැඩි කාලයක්ම හිරු, ප්‍රංශ වැසියන් හා පවත්වනු ලබන්නේ සීමීත ඇසුරකි. මෙයට වසර දාහකට පමණ එපිට විසූ හියු කාපට් රජු[ King Hugh Capet] විසින් ප්‍රංශයේ වත්මන් අගනගරය එකල තම ප්‍රධාන පුරවරය ලෙස ප්‍රථම වරට තෝරා ගන්නා ලදී.

    නිරතුරුව අළු පැහැති අහස වියන ඉහළා සිටින මෙම පුරවරයේ වැසියන්ගේ සිරිත වන්නේ , කළු පැහැ වස්ත්‍රයන්ගෙන් විළාසිතාකරණයේ යෙදීමයි. මෙය ප්‍රංශය නම් ලෝක බලවතාගේ හදවත වන්නාසේම සියලු සම්භාව්‍ය සෞන්දර්ය කලාවන්, විළාසිතා , ආහාර පාන හා නොයෙක් විද්‍යා හා උප සංස්කෘතීන්හි ලෝක කේන්ද්‍රස්ථානයද වෙයි. මීට සියවස් ගානකට එපිට ප්‍රංශ විප්ලවය පැවති සමයේ සිටම ලොව වෙනස්කල චින්තකයින්, කලාකරුවන් හා නොයකුත් උප සංස්කෘතික කණ්ඩායම් වැඩුණු සරු බිම වූයේද පැරිසිය [ Paris ] නම්වූ මෙම සාඩම්බර නගරයයි. ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ සුන්දර සේන් ගඟුලේ [Seine River ] උකුලේ පැරිසිය පිහිටා ඇත. පැරිස් නගරය සේන් ගඟේ ඉවුරු දෙපස වර්ග කිලෝ මීටර් එකසිය පහක භුමියක සින්නක්කර හිමිකරුවාය. එපමනක් නොව මුළු පැරිස් ප්‍රදේශයම වර්ග කිලෝ මීටර් හාරදහසට මදක් වැඩි වෙයි. සම්පුර්ණ පැරිස් ප්‍රදේශය තුල ප්‍රංශ ජනගහනයෙන් 18% තරම්වූ වාසනාවන්ත ජනතාවක් වාසය කරන අතර නගර සිමාවේ පමණක් මිලියන දෙක ඉක්මවූ පිරිසක් වාසය කරයි. ප්‍රංශයේ ජනපතිවරයා හා ඔහුගේ නිවහන වන සුපතල එලීසි මාලිගාවද Elysee palace] පැරිසිය ස්ථානගත වී ඇත. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස දක්වා දිවෙන අතීතයක් ඇති පැරිසිය දුසිම් ගණනක් වූ සුවිශේෂිතා හේතුවෙන් බටහිර ලෝකයේ ආකර්ශණීයම නගරය ලෙස පෘථිවි වැසියන් විසින් හඳුන්වනු ලබයි.

    tslagakarina12parisianwomenstory 880x587

    සැබවින්ම පැරිසිය තුල ඇති සෑම බිම් අඟලක්ම විවිධ හේතුන් කරන කොට සුවිශේෂී වැදගත් කමක් උසුලනු ලබයි. ලෝකයේ දේශපාලනය විපර්යාසයකට බඳුන් කල ප්‍රංශ විප්ලවයයේ තිඹිරිගෙය වූ බැස්ටිලය [ Bastille] පැරිසිය තුල පිහිටි එවන් එක් වැදගත් ස්ථානයකි. එතෙක් පැවති රාජාණ්ඩු ක්‍රමය ගිලටීනයට යැවූ ප්‍රංශ ජනරජ ව්‍යාපාරයේ [Republican movement] මූල බිජ හට ගනු ලැබූයේ මෙහිදීය. බැස්ටිලය ගොඩනගනු ලැබුයේ 14 වන සියවස වන විට පැරිස් නගරය තව දුරටත් පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එතෙක් ප්‍රධාන පැරිස් බලකොටුව ලෙස බටහිර දෙසින් ලූවර් බලකොටුව නගරයට ආරක්ෂාව ලබා දුන් අතර නගර පුළුල් කිරීමත් සමඟම නැගෙනහිර මායිම පිටතට අනාවරණය විය. නිරන්තර ඉංග්‍රීසී ආක්‍රමණයක් පිලිබඳ බියෙන් පසු වූ ප්‍රංශ රාජකීයන්ගේ මතය වුයේ එය පැරිසියේ ආරක්ෂාවට බලපෑමක් විය හැකි බවයි. එබැවින් කුළුණු අටකින් යුතු වූ රාජකීය බලකොටුවක් ලෙස බැස්ටටීලය ඉඳි වූයේ පැරිස් නැගෙනහිර මායිම් පිවිසුම අසලය. වර්ෂ 1417 දී මෙම බලකොටුව බන්ධනාගාරයක් බවට පත් කල අතර පසුව පහළොස්වන ලුවී රජු [king Louis xv] විසින් මෙය ප්‍රංශ සමාජයේ ඉහල පන්තියේ චූදිතයන්ගේ රැඳවුම් කඳවුර බවට පත් කරන ලදී. කාලයත් සමඟම රජුට එරෙහිවූ ප්‍රංශ ප්‍රභූන් බොහෝ දෙනා මෙහි නේවාසිකයන් බවට පත්විය. එමෙන්ම පසුව ඇතිවූ ප්‍රංශ විප්ලවයේ බහුතරයක් න්‍යායාචාර්යවරුන් හා මහා මොළකරුවන්ද බැස්ටිල බන්ධනාගාරයේ දිවා ආහාරය රස බැලූ තැනැත්තන්ය.

    විවිධ විරුදයන් පටබැඳී ඇති මෙම ආකර්ෂණිය පුරවරය, පුනරුදයේ නගරය [ City of enlightenment] ලෙස බෞස්තීම ලැබූයේ එකල යුරෝපය පුරා ඇතිවෙමින් තිබූ විද්‍යා, කලා ශාස්ත්‍රීය විප්ලවයේ කේන්ද්‍රස්ථානය බවට පැරිසිය පත්වූ බැවින්ය. නව ලොව නව දැනුම ජනනයට , උත්තේජනය සැපයූ වෝල්ටෙයාර් [ Voltaire ] , මොන්ටෙස්කු [ Montesquieu ]වැනි පැරිසියානු චින්තකයන් මෙන්ම , ජිනීවා සිට පැමිණ පැරිසියට වසඟවී එහි වැසියෙකු බවට පත්වූ රූසෝ [ Rousseau ] ආදී දාර්ශනිකයන්ගේ දායකත්වයද මෙයට හේතු විය. දුසිම් ගණනින් කලාගාර, විද්‍යාගාර පැරිසිය තුල බිහිවූ අතර කලාකරුවන් , විද්‍යාඥයින් , චින්තකයින් නියැලී සිටියේ විශ්වයේ අනාගතය තීරණය කිරීමේ කාර්යෙහිය. ඇමරිකාවේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් [Benjamin Franklin] තෝමස් ජෙෆර්සන් [Thomas Jefferson ]එංගලන්තයේ ස්ටුවර්ට් මිල් [Stuart Mil] , ජර්මනියේ කාර්ල් හේගල් [Karl Hegel ] ආදී මහා චින්තකයන් හා පුනරුද සමයේ පැරිසියේ චින්තකයන් නව දැනුම සොයා ගැනීමේ තරඟයක යෙදී සිටියේය. නමුත් ලොව අන් සියලුම දේශයන් අභිබවමින් පැරිසිය පුනරුදයට ලබා දුන් දායකත්වය එයට පුනරුදයේ පුරවරය යන විරුදය ලැබීමට හේතු විය.

    gettyimages 636357190 1024x1024

    පැරිසිය තරම් උතුරා යන මිනිස් හැඟීම් වෙත අනුබලයන් ලබා දුන් එකදු පුරවරයක්වත් දියග නොමැති තරම්ය. කවදත් ගතික ස්වභාවයක් උසුලනු ලබන මිනිස් හැසිරීම් හා හැඟීම්හි ප්‍රකාශනයන්ගේ තවත් එක් සුවිශේෂී උදාහරණයක් ලෙස පැරිසියේ" පොන්ට් ඩෙ අර්චේවෙචේ" හි [Pont de l'Archevêché ] සේන් ගගේ පාලම හැඳින්විය හැකිය. එය ප්‍රංශයේ පමණක් නොව ලොව පුරා ආදරවන්තයන්ගේ බලාපොරොත්තු මුසු වූ ආදර ඉබ්බන් උසුලාගෙන සිටියේ ඔවුන්ගේ ප්‍රේමනීය බැඳීමට දීර්ඝායු ලබා දීමේ අරමුණින්ය . විවිධ රටවලින් පැමිණෙන පෙම්වතුන් තම ආදර බැඳීම සදා රැකදෙන ලෙස පතමින් මෙම පාලමේ ආදර ඉබ්බන් එල්ලීම පුරුද්දක් කරගෙන සිටියහ. එම ඉබ්බන් එල්ලීමෙන් අනතුරුව එම ඉබි යතුරු ගඟ දියට විසිකරනු ලබයි. පුජනීය ප්‍රේම පඬුරු ලෙස හැඳින් විය හැකි මෙම ආදර ඉබ්බන් නිසා පාලමට හා සේන් ගඟට නම් අහයහපතක් මිස යහපතක් නම් සිදු වී නැත. එබැවින් බලධාරීන් කීප වරකම පාලමේ එල්ලා ඇති ඉබ්බන් කපා ඉවත් කිරීම සිදු කලද තවමත් පෙම්වතුන් තම ආදර පඬුරු පාලම මත ගැට ගැසීම නම් නවතා නැත. මෙම ඉබි යතුරු පාලම පැරිසියේ තවත් එක් ආකර්ෂණිය පැතිකඩකි.

    mommy and me weekend in paris andrea fellman walking on travels

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 14:28

    Latest News