ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය යෝජිත සටන් විරාම කොන්දේසි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙංජමින් නෙතන් යාහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. සටන් විරාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානයේ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි, ඔහු මේ බව ප්‍රකාශ කළේ.
හමාස් සටන්කාමීන් සිය යෝජනා ඉදිරිපත් කර තිබු‍ණේ, දින 135 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමටයි. සියලුම ඊශ්‍රායල කාන්තා ප්‍රාණ ඇපකරුවන් සහ අවුරුදු 18 ට අඩු පිරිමි, මහලු සහ රෝගී පුද්ගලයින් නිදහස් කිරීමට ද හමාස් සංවිධානයේ එකඟතාව පළ කොට තිබුණා.
ඒ වෙනුවට ඔවුන් ඉල්ලා සිටියේ ඊශ්‍රායල සිරකඳවුරුවල සිටින කාන්තාවන් සහ ළමුන් නිදහස් කරන ලෙසයි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවට කෙරෙන කොන්දේසීන් ද එහි ඇතුළත්. එහෙත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම සියලු කොන්දේසි ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ, ගාසා තීරයේ සම්පූර්ණ ජයග්‍රාහනය මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. සාකච්ඡා සඳහා කිසිදු ස්ථානයකට නොයන බවත් ජයග්‍රාහනය හැර වෙනත් කිසිදු ‍විසඳුමක් නොමැති බවත්, ඔහු ප්‍රකාශ කරනවා.
ඊශ්රායලය සහ හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වඩා හානි වී හෝ විනාශ වී ඇති බව, නවතම විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙනවා.
ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර අධිකරයේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට මෙහිදී නියෝග කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යූනිස් නගරය, තම හමුදාව විසින් වටකර ඇතැයි ඊශ්රායල හමුදාව පවසනවා.
පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්රායල ප්රහාර වලින් ගාසා තීරයේ මිය ගිය පිරිස 25,000 ඉක්මවා තිබෙනවා.

ඊශ්‍රායලයේ සහ හමාස් යුද ගැටුම් අවසන් වීමෙන් පසු ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ප්‍රකාශ කොට සිටින්නේ, මින් ඉදිරියේදී ගාසා තීරය තුළ සීමිත පලස්තීන පාලනයක් පවතිනු ඇති බවයි.

ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස බටහිර රටවල් රැසක් ඊශ්රායලයෙන් ඉල්ලා තිබෙනවා. ජර්මනිය, ප්රංශය සහ එක්සත් රාජධානියේ විදේශ ඇමතිවරු ඊයේ ඒකාබද්ධ ප්රකාශයක් නිකුක් කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්රායල යුද ටැංකි ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.
දකුණු ගාසා තීරයට එල්ල වන ඊශ්රායල ප්රහාර හමුවේ පලස්තීනුවන් දහස් ගණනක පිරිසක් රෆා පිවිසුම් ප්රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, මේ වන විට එම ප්රදේශයට ආහාර සහ විදුලිය නොමැති අතර, ජනතාව උග්ර ජල හිගයකටද මුහුණපා සිටින බවයි.
ඊශ්‍රායල හමුදා ඊයේ දකුණු ගාසා තීරයේ දැවැන්ත ගොඩබිම් ප්‍රහාර රැසක් සිදු කොට තිබෙනවා. ඉකුත් ඔක්තෝබර් මස ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දින සිට මෙතෙක් සිදු කළ දරුණුතම ප්‍රහාරක දිනය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News