මරණ බියයි බඩගින්නයි

පෙබ 21, 2024

    ලෝක ආහාර වැඩසටහන උතුරු ‍ගාසා තීරයට ආහාර බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව නතර කර තිබෙනවා.

    එම කලාපයේ සිවිල් සාමය බිඳ වැටීම හේතුවෙන් ලෝක ආහාර වැඩසටහනේ කාර්ය මණ්ඩලය ද ඉතා අනාරක්ෂිත තත්වයකට මුහුණ පා සිටීම ඊට හේතුවයි.

    උතුරු ගාසා තීරයේ, මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා රැස්ව සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව ඉල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පලස්තීන වැසියන් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.

    මේ වන විට එම කලාපය තුළ සිවිල් සාමය හා ආරක්ෂාව බිඳ වැටීම සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතින බව, ලෝක ආහාර වැඩසටහන ‍පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, වෙඩි තැබීම් සහ කොල්ලකෑම් හමුවේ තම කාර්ය මණ්ඩලය දැඩි අවදානමක පසුවන බවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉකුත් දෙසැම්බර් මස සිට උතුරු ගාසා තීරයේ සාගත තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කළා.

    උද්ගතව ඇති තත්වය හමුවේ තවදුරටත් කුසගින්න සහ රෝගාබාධවල වේගවත් වැඩිවීමක් පෙන්නුම් කරන බව, ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

    ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමග පලස්තීන සිවිල් වැසියන් දස ලක්ෂයකට අධික පිරිසකට නියෝග නිකුත් කළේ, උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙසයි.

    උතුරු ගාසා තීරයේ අවම වශයෙන් ලක්ෂ 3 ක ජනතාවක් තවමත් රැඳී සිටින බව, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ‍ඒජන්සිය පවසනවා.

    Latest News