හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු විසින් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දන්වා සිටියේය.

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය  නියම කළේය.

පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් හා ඩුබාහි දී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහහා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉන්දියානු ජාතික තෝමස් මර්සලින් අද එම චෝදනාවෙන් නිදහස්කරනු ලැබීය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ශන්මුගන් ඉලංගෝවන් නමැති පුද්ගලයෙකුට හෙරොයින් ළග තබා ගැනීම හා ජාවාරම්කිරීම යන චෝදනාවලට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දැනට බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 05 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

Latest News