ඥාණසාර හිමිට රටයන්න අවසර

ජූනි 07, 2019

    බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. මෙහිදී ඤානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායක හිමියන්ට 2018 වසරේ ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත් එය 2020 වන වසර දක්වා ක්‍රියාත්මක වන බවයි.

    එම ශිෂ්‍යත්ව කටයුතු වලට සහභාගි වීම සඳහා තම සේවාදායක හිමියන්ට ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම හැකිතාක් කාලයක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

    එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මීළඟ නඩු දිනය දක්වා පමණක් විදේශ ගමන් තහනම ඉවත් කිරීමට හැකියාව තිබෙන බවයි. ස්වාමීන් වහන්සේට අධිකරණයට පැමිණීමට අපහසු අවස්ථාවක සිය නීතිඥවරයා මාර්ගයෙන් නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බව ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

    ඒ අනුව පැමිණිල්ල නැවත ලබන අගෝස්තු මස 23 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් ඥාණසාර හිමියන්ට විදේශ ගත වීමට අවසර ලබා දුන්නේය.

    වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් යන ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 12:16

    Latest News