කොච්චිකඩේ බෝම්බකරුගේ සහෝදරයන් 3ක් කොළඹ උසාවියට

මැයි 23, 2019

    පාස්කු ඉරු දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නැමති බෝම්බකරුගේ සහෝදරවරු දෙදෙනෙකු සහ සහෝදරියක් අද නිරීක්ෂණය සඳහා රහස් පොලිසිය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අහමඩ් මුස්කින් අලව්දීන්, අහමඩ් මුස්තාක් අලව්දීන් සහ ෆාතිමා සුබෙයියා අලව්දීන් යන සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

    රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුකරනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තුන්දෙනා රඳවාගෙන පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය දන්වා සිටියේය.

    ඒ අනුව මෙම සැකකරුවන් තුන්දෙනා නිරීක්ෂණය සඳහා නැවත ජූනි මස 27 වනදා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලිසියට නියම කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 15:53

    Latest News