ජනක රණවකට එරෙහි පරිගණක දත්ත සොරකම් නඩුව ජුලි 3

මැයි 27, 2019

    කෝට්ටෙ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුලි 03 විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවන ලැබීණ. එහිදී විත්තිකාර ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුව පරිගණක අපරාධ පනත යටතේ ගොනු කර ඇති බවත් මෙම නඩුවේ චෝදනා පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමා මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය. ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව පැමිණිල්ල නැවත ජුලි මස 3 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරයාට දැනුම් දුනී. අද අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන් මුදා හරින ලෙසට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේය.

    නැවත නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට දැනුම් දුනී.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතා එහි නියෝජ්‍ය නගරාධිපති සිටි අවධියේ ඔහුගේ කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී පරිගණකයේ  දත්ත සොරකම් කළ බවට චෝදනා කරමින් පරිගණක අපරාධ පනත යටතේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    Last modified on සදුදා, 27 මැයි 2019 12:15

    Latest News