ළගදීම නුවර සුපිරි හෝටලයක්

නොවැ 07, 2022

    දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබා ගත හැකි හෝටල් සංකීර්ණයක් මහනුවර, උඩිස්පත්තුව ප්‍රද‍ේශය‍ෙ ඉදි කෙරෙනවා. එය, 2024 වසරේදී විවෘත කිරීමට නියමිතයි.

    හෝටලය හැඳින්වෙන්නේ, “අවියානා” යන නමින්. මුහුදු මට්ටමේ සිට අඩි 2,600 ක් උසින් යුතු මනරම් පරිසරයක එය ඉදි කෙරෙන අතර, මෙය මුළුමනින්ම පරිසර හිතකාමී  ව්‍යාපෘතියක්. සුඛෝපභෝගී කුටි 60 ක් ඊට ඇතුළත්.

    සෑම කුටියකම පුද්ගලික පිහිනුම් තටාකයක් ඉදිකර තිබෙනවා. පුද්ගලික මට්ටමෙන් සූපවේදියෙකුගේ සහය ලබා ගැනීමේ පහසුකම ද හෝටල් පරිපාලනය විසින් ලබා දී ඇතැයි, එහි නිර්මාතෘ අඹසෙවන සමූහයේ සභාපති ආචාර්ය ඉන්දික හේවාවසම් මහතා පවසනවා.

    විශේෂ පරිසර කලාපයකට නෑකම් කියන මෙම හෝටල් සංකීර්ණය අවට ප්‍රදේශය, විවිධ දේශගුණික හා කාලගුණික කලාපවලට අයත් ශාක හා සතුන්ගෙන් ගහන ප්‍රදේශයක්. ව්‍යාපෘතියට, කාබනික වගාවක් ද ඇතුලත්.

    සංචාරකයින්ගේ රුචිකත්වය අනුව, එළවලු හා පලතුරු එහිදී ලබා ගත හැකියි. පෙර රජදවස පැවති ආහාර පාන සංස්කෘතියක් ද හෝටලයේදී ලබා දෙන බවයි, එහි පරිපාලනය පවසන්නේ. මේ වන විට කුටි 42 ක වැඩ නිමවා අවසන්.

    Last modified on අඟහරුවාදා, 08 නොවැම්බර් 2022 08:03

    Latest News