වසරේ මුල් දින 65 - සංචාරකයින් පැමිණීම ලක්ෂ 02 ඉක්මවයි

මාර් 08, 2022

    මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනූව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනූව මේ වසරේ මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964 කි.

    පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 96,507කි. වසර දෙකකට පසු මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වන්නේ එයයි. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මාර්තු මාසයේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.එම සංඛ්‍යාව 4,395 ක් වේ.

    රැසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 3,094 පැමිණ ඇති අතර ජර්මනියෙන් සංචාරකයන් 2,240 ක්, ප්‍රංශයෙන් සංචාරකයන් 969 පැමිණ තිබේ. පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ නව සංචාරක වෙළදපළ ඉලක්ක කෙරෙහි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මීට පෙර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය නොකළ රටවල් ගණනාවක් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇති බවත්, එම රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මීට අමතරව, ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ද මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වසරේ දෙවන කාර්තුවේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක් ලබාදීමට මුදල් අමාත්‍යාවරයා පසුගිය දා එකඟතාවය පළ කර තිබිණි. ඒ අනූව එම කටයුතු ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පවසයි.

    Last modified on අඟහරුවාදා, 08 මාර්තු 2022 16:19

    Latest News