ප්‍රංශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා වෙනුවෙන් විරෝධතා

ජූනි 30, 2023

    ප්‍රංශයේදී පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි “නහේල් - එම්” නමැති තරුණයා පොලිස් වෙඩි පහරින් මිය යාම සම්බන්ධයෙන් පැවැත්වෙන විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

    ඒවායේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් 400 කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    මාර්ග නීති උල්ලංඝනය කරමින් සිය මෝටර් රථය ධාවනය කළ, ඇල්‍ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි නහේල් එම් නමැති තරුණයාට මෝටර් රථය නවතන ලෙසට ලබා දුන් පොලිස් අණ පිළිනොපැදීම හේතුවෙන් ප්‍රංශ පොලිසිය විසින් ඉකුත් අඟහරුවාදා වෙඩි තබනු ලැබුවා. වෙඩි තැබීමෙන් අනතුරුව, ස්වල්ප වේලාවකින් එම තරුණයා මිය ගිය බවයි, එරට මාධ්‍ය වාර්තා කළේ. ඊට එරෙහිව ප්‍රංශය පුරා ආරම්භ වූ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා උත්සන්න වී තිබෙනවා. එරට ප්‍රධාන නගර තුනකින් ඊයේ රාත්‍රියේත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. උග්‍ර වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ප්‍රංශය පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ මේ වන විට යොදාවා තිබෙනවා. මේ අතර, “නහේල් එම්” තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරීයා විසින් එම තරුණයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව ඉල්ලා ඇති බවද, එරට මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News