ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක්

ඔක් 04, 2022

    උතුරු කොරියා‍ව, ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ හේතුවෙන් උතුරුදිග ජපානයේ හොකයිඩෝ දූපතට අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි, වාර් තා වන්නේ. 

    මිසයිලය, මධ්‍ය දුර අන්තර් මහද්වීපික මිසයිලයක් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එය ජපානයට කිලෝමීටර 3,000ක් දුරින් පැසිෆික් සාගරයට කඩාවැටී තිබේ.

    කිසිදු ජීවිත හෝ දේපල හානියක් වාර්තා වී නැහැ. මිසයිලය දූපතට ඉහළින් ගමන් ගන්නා අවස්ථාවේ එහි වැසියන්ට ආරක්ෂක ප්‍රදේශ වෙත ගමන් ගන්නා ලෙසට, අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.  එමෙන්ම, ඇතැම් දුම්රිය ගමන් ද තාවකාලිකව නවතා දැමූ බවයි, වාර්තා වන්නේ. 

    ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා උතුරු කොරියාවේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දැක තිබේ. උතුරු කොරියාව, ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කළේ, වසර 5 කට පසුවයි. මීට පෙර 2017 වසරේ දී ද උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බලනු ලැබීය.  

    Last modified on අඟහරුවාදා, 04 ඔක්තෝබර් 2022 11:46

    Latest News