නේපාලයත් බරපතල ආර්ථික අර්බුදයක...

අප්‍රේ 12, 2022

    නේපාලය ද බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

    මේ හේතුවෙන් මෝටර් රථ හා සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළු ආනයන රැසක් අවලංගු කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. මාස 07ක් තුළ නේපාලයේ විදේශ සංචිත, අමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් දක්වා, එනම්, 16%කින් පහත වැටී තිබෙනවා.

    එමෙන්ම, විදෙස්ගත නේපාල ජාතික සේවකයන් රටට එවන විදෙස් මුදල් ප්‍රේශණ 5%ක් දක්වා වැටී තිබේ. ඒ සමගම එරට ප්‍රධාන ජාතික ආදායම වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ද සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි, වාර්තා වන්නේ. රජයේ ණය ප්‍රමාණය ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 43%ක් දක්වා වැඩවී තිබෙනවා.නේපාල මුදල් ඇමති ජනාර්දන් ශර්මා ප්‍රකාශ කර ඇත්තේ, නේපාලය ද ශ්‍රී ලංකාවට සමාන ආකාරයේ අර්බුදයකට ගොදුරු වීම තමා පුදුමයකට පත්කරන්නක් බවයි.

    සුඛෝපභෝගී භාණ්ඩ 50ක ලැයිස්තුවක් ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද, මුදල් ඇමතිවරයා නිවේදනය කර ඇත. මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය හා රත්රන් ද මේ ලැයිස්තුවට ඇතුළත්. එම ද්‍රව්‍ය ආනයනය කිරීමට කිසියම් වෙළඳ ආයතනයකට අවශ්‍ය නම්, භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම ගෙවා එලෙස සිදුකළ යුතු බවයි, එරට රජය පවසන්නේ.

    Latest News