බින්ලාඩන්ගේ පුතුගේ සෞදි පුරවැසිභාවය අහෝසියි

මාර් 02, 2019

    අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ පුත්, හම්සා බින්ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර තිබේ.

    ඒ, ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව, අමෙරිකාව ප්‍රකාශ කර දිනකට පසුවයි. ඔහු පකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අමෙරිකාව, 2017 වසරේ දී හම්සා බින්ලාඩන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේය. අමෙරිකාව ඔහු හඳුනාගෙන ඇත්තේ, අල්කයිඩා සංවිධානයේ නැගී එන නායකයෙකු ලෙසයි. අන්තර්ජාලය හරහා බටහිර රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කිරීමට ඔහු සැලසුම් කරමින් සිටින බව ද අනාවරණය වී තිබේ.

    හම්සා බින්ලාඩන්ගේ පියා වන අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් පකිස්තානයේ දී ඝාතනයට ලක්වුණේ, වර්ෂ 2011 මැයි දෙවැනිදායි. සිය පියාගේ ඝාතනයට වගකිව යුතු අමෙරිකාවට එහි ප්‍රතිවිපාදක විඳීමට සිදුවනු ඇති බවට හම්සා බින්ලාඩන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    සෞදි රජයට එරෙහිව සටන් වැදීම සඳහා අල්කයිඩා සංවිධානයේ යේමන ශාඛාව සමඟ එක්ව ඔහු සැලසුම් සකස් කරමින් සිටින බවට, තොරතුරු අනාවරණය වී ඇතැයි, අමෙරිකාව වැඩිදුරටත් කියා සිටියි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 12:05

    Latest News