ඉන්දීය ගුවන් නියමු අභිනන්දන්ට නිදහස

මාර් 01, 2019

    පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා මේ වනවිට ඉන්දීය බලධාරීන්ට බාරදී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    කෙසේ වෙතත්, ඔහු තවමත් දේශසීමා පිවිසුමේ රඳවාගෙන ඇති බව වාර්තාවේ. ගුවන් නියමුවා නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන වාර්තා එකිනෙකට පරස්පර බවත් පෙන්නුම් කෙරේ.

    ඉන්දීය ගුවන් නියමුවා රැගත් පකිස්තාන හමුදා රථ පෙළ සවස 5.00ට පමණ වනවිට ඉන්දීය දේශසීමා පිවිසුමට ළඟාවිය. එහි පැමිණි ජ්‍යෙෂ්ඨ ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු පකිස්තාන හමුදා බලධාරීන් වෙතින් ගුවන් නියමුවා 5.10ට පමණ බාරගනු ලැබූ බව, මූලික වාර්තාවල දැක්වේ. අනතුරුව විශේෂ ආරක්‍ෂක විධිවිධාන යටතේ ඔහු ඉන්දියාවට රැගෙන එනු ලැබූ බව ද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    එහෙත් මේ වනවිටත් ගුවන් නියමුවා ඉන්දීය භූමියට පිවිස නැති බවයි අලුත්ම වාර්තාවල දැක්වෙන්නේ. ‍දෙරට අතර සිදු කෙරෙන ලිපි ගොනු කටයුතු මුල් කර ගනිමින් ගුවන් නියමුවා ඉන්දීය භුමියට පිවිසීම පමා වී ඇති බව දේශසීමාවේ සිටින වාර්තාකරුවන් ප්‍රකාශ කළේය. ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අබිනන්දන් වර්ධමාන් පිළිගැනීම සඳහා විශාල පිරිසක් වගා දේශ සීමා පිවිසුම වෙත පැමිණ සිටියත් මේ වනවිට එම ජනතාවගෙන් බොහොමයක් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.

    සවස 5.30ට පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද ඉන්දීය ගුවන් හමුදාව විසින් කල් දමා ඇත. පසුගිය බදාදා පකිස්තාන ගුවන් හමුදා යානා සමඟ පැවති සටනකදී ඉන්දීය ප්‍රහාරක නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන්ගේ මිග් 21 යානය පකිස්තාන කාෂ්මීරයට කඩා වැටිණ. පකිස්තාන හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඔහු වහා නිදහස් කරන ලෙසයි ඉන්දියාව ඉල්ලා සිටියේ. මේ නියමුවා නිදහස් කිරීම සඳහා පකිස්තානයට අමෙරිකාව ඇතුලු රටවලින් ද බලපෑම් එල්ලවිය. පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේ සාමය පතා ඉන්දීය ගුවන් නියමුවා අද නිදහස් කරන බවයි.

    මේ අතර ඉන්දු-පකිස්තාන ගුවන් සටන් හේතුවෙන් වසා දමා තිබූ ගුවන් තීරය යළි විවෘත කරන බව පකිස්තානය අද නිවේදනය කළේය.
    සඳුදා වනවිට වාණිජ ගුවන් ගමන් සඳහා අවසර ලබාදෙන බව පකිස්තාන රජය කියා සිටී. කාෂ්මීරයේ තවදුරටත් ගැටුම් පවතී. දේශසීමා ප්‍රදේශයේ සටන්වලින් අද දිනයේ ඉන්දීය හමුදා සෙබලුන් 4 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 20:06

    Latest News