update- ගෝඨාභයේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම සළකා බැලීම ඇරඹේ

ඔක් 02, 2019
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ ආරම්භ විය.
    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම  බැලීම සිදු වෙයි.
    මෙම නඩු කටයුත්ත අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින ආගමන හා විගමන පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියි.
    මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් විරෝධතා කිහිපයක්අ ධිකරණය හමුවේ මතුකරනු ලෑබීය. මේ වනවිට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් සිටිියි. මෙම නඩු විභාගය දැක ගැනීම සඳහා නීතිඥවරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් අධිකරණ ශාලාවේ රැස්ව සිටියි.
    එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා  විවෘත අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත අධිකරණය සහ නීතිඥවරුන් අතර පවතින ක්‍රියාදාමයක් බව පෙන්වා දුන් අතර අධිකරණයට රැස්ව සිටින බාහිර පාර්ශවයන් අධිකරණයේ ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද ප්‍රකාශකර සිටියා.
    මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන,  එම අමාත්‍යංශයේ ලේකම්වරයා,  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ  ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන්  බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.
    විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි කියා සිටින්නේ.
    මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ. 
    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 11:35

    Latest News