හිමාල කඳු ප්‍රදේශවල ජනයා කොරෝනා වසංගතයට දැඩි සේ ගොදුරු වෙයි

ජූනි 16, 2021

    උතුරු දිග ඉන්දියාවේ හිමාල කඳු ප්‍රදේශවලට ආසන්න දුෂ්කර ගම්මානවල සිටින ජනයා කොරෝනා වසංගතයට දැඩි සේ ගොදුරු වී ඇතැයි වාර්තාවේ.

    ඉන්දියාවේ නගරබද ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අවම වීමත් සමඟම මෙම තත්වය උදාවී තිබේ. සෞඛ්‍ය, ගමනාගමනය, මෙන්ම, සන්නිවේදන පහසුකම් නොමැති වීමෙන් මෙම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තාවේ.

    ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 62,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගැණින. එම කාලය තුළ කොරෝනා මරණ 1,470ක් සිදුව තිබේ. කෙසේ වුවද නවදිල්ලි නුවර එළවළු වෙළෙඳපොළක් ආශ්‍රිතව අනාරක්‍ෂිත ජනතා හැසිරීමක් අද එරට මාධ්‍ය වාර්තා කළේය.

    ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ නගර කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට ද ඉන්දීය බලධාරින් පියවර ගෙන තිබේ. දැඩි නීතිරීතින්ට අනුකූලව කටයුතු නොකිරීමෙන් ඉන්දීය ජනතාවට කොරෝනා වෛරසයේ දරුණු තත්වයකට යළි මුහුණදීමේ අවදානමක් ඇතිවිය හැකි බව, සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News