ලොව මෙතෙක් වාර්තාවූ වැඩිම ආසාදිතයින් ඊයේ ඉන්දියාවෙන්

මැයි 01, 2021

    ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව තුළින් ඊයේ වාර්තා විය.

    ගත වූ පැය 24 තුළ දී හාර ලක්ෂ 2,110ක පුද්ගලයන් සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී තිබේ. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් ඉහළ යන ඉන්දියාව තුළ අද වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 91 ලක්ෂ 64,000 ඉක්මවා ගොස් තිබේ. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව දෙලක්ෂ 11,000 ඉක්මවන අතර දෛනිකව මරණ 3,500කට ආසන්නව සිදු වෙයි.

    රෝහල් තුළ රෝගීන් ධාරිතාව ඉක්මවා යාම හා වෛද්‍ය පහසුකම් හා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතියි.

    ඔස්ට්‍රේලියානු රජය විසින් පවතින වසංගත තත්වය සළකා බලා ඉන්දියාවෙන් පැමිණෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව තහනම් කර ඇති අතර ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට ද මෙම නීතිය ක්‍රියාත්මක කර තිබේ.


    එලෙස නීතිවිරෝධී ලෙස රටට පැමිණීමට උත්සහ දරන කවරෙකුට නමුත්, වසර 5ක සිරදඩුවමක් හා දඩ මුදලකට යටත්වීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දෙයි.

    ඉන්දියාවේ මේ වන විට ඔස්ට්‍රේලියානුවන් 9,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට මේ වන විට ගණන් බලා ඇති අතර එයින් 600 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. ඔස්ට්‍රේලියානු පුරවැසියන් සිට රටට පැමිණීම නීතිමය අපරාධයක් ලෙස හඳුන්වනු ලබන පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 01 මැයි 2021 14:58

    Latest News