මිය යන පිරිස් ආදාහනයට දිල්ලි ඥාතීන් පැය ගණන් පෝලිමේ

අප්‍රේ 28, 2021

    ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂ දෙකේ සීමාව පසුකර තිබේ. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 3,285ක් ඉන්දියාවේ සිදු විය. එය මෙතෙක් එරට සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වෙයි.

    අඛණ්ඩව 7 වැනි දිනටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ, ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව තුන් ලක්ෂ 62,902ක්. මේ වන විට එරට බරපතල ගැටලුව බවට පත්ව ඇත්තේ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීමයි.

    හුස්ම ගැනීමේ අරගලය ලෙස මෙය නම් කර ඇති අතර, මේ හේතුවෙන් බොහෝ කොරෝනා රෝගීන්ට සිදුව ඇත්තේ කිසිඳු වෛද්‍ය ප්‍රතිකාරයක් නොලබා මහ මඟ දී හෝ සිය නිවෙස් තුල දී මිය යාමටයි.

    දිනෙන් දින කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, එරට ආදාහනාගාර ද ප්‍රමාණවත් නොවන තත්වයකට පත්ව තිබේ. වැඩිම බලපෑමකට ලක් වී ඇති දිල්ලි අගනුවර,තාවකාලික ආදහනාගාර ඉදිකිරීමට ක්‍රියා කර ඇති අතර ඒවා පැය 24ම ක්‍රියාත්මකයි.

    5760

    කෙසේ වුවද, ප්‍රමාණවත් ආදහනාගාර නොතිබීම හේතුවෙන් මිය යන පිරිස් ආදාහනය කිරීම සඳහා එම පවුල්වල ඥාතීන්ට සිදුව ඇත්තේ, පැය ගණනක් පෝලිම්වල රැඳී සිටීමටයි.

    මේ අතර ඉන්දියාවේ පවතින තත්වය පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, සමූහ ඒකරාශ්‍රීවීම් එරට වෛරස ආසාදිතයන් මෙතරම් ඉහළ යාමට මූලිකම හේතුව බවයි.

    එසේම, ශීඝ්‍ර ව්‍යාප්තියක් පවතින නව ප්‍රභේද හඳුනා ගැනීම සහ එන්නත්කරණ ක්‍රියාවලියේ මන්දගාමීත්වය ඉන්දියාව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට හේතු වී තිබේ.

    මේ වන විටත් තවදුරටත් රටවල් රැසක් ඉන්දියාවට සහය පළ කිරීමට ඉදිරිපත්ව සිටින අතර, පළමු අන්තර් ජාතික සැපයුම් තොගය ලෙස බ්‍රිතාන්‍ය සැපයුම් තොගයක් ඊයේ ඉන්දියාවට ළගා විය. වෙන්ටිලේටර් යන්ත්‍ර, ඔක්සිජන් උපකරණ ඇතුළු තවත් වෛද්‍ය සැපයුම් රැසක් ඊට ඇතුළත්.

     111975706 1

    කෙසේ වුවද, විශේෂඥයන් පවසන්නේ ඉන්දියාවේ සැබෑ ආසාදිතයන් ප්‍රමාණය මීටත් වඩා ඉහළ අගයක් ගන්නා බවයි. ඒ අනූව, වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ ආසාදිතයන් ප්‍රමාණය තිස් ගුණයකින් පමණ වැඩි බවයි, වාර්තා වන්නේ. නවදිල්ලියේ රෝගගතික,ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ, ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉතා අඩුවෙන් ගණනය කෙරෙන බව, දැන් ප්‍රසිද්ධ රහසක් වී ඇති බවයි.

    කෙසේ වුවද, ලොවම කම්පාවට පත් කරමින් සුවිශාල ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වුවද, තවමත් ඇතැම් ඉන්දියානුවන් අන්ධ භක්තිකයන් බවට පත් වෙමින් ක්‍රියා කරනු දක්නට ලැබෙයි. හනුමාන් ජයන්ති උත්සවය වෙනුවෙන් බොහෝ පිරිසක් ආගමික ස්ථාන වෙත එක් රැස්ව සිටිනු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ, එම පිරිස් කඩිනමින් විසුරුවා හැරිමටයි.

    මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබේ. කෙසේ වුවද, මියගිය පුද්ගලයින් අතර කිසිඳු කොරෝනා රෝගියෙක් නොවන බවයි, වාර්තා වන්නේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් කඩිනමින් වෙනත් රෝහලක් කරා මාරු කර යැවීමට කටයුතු කර තිබේ.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 12:22

    Latest News