ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයකයාට ජිවිතාන්තය දක්වා සිර දඬුවම්

අගෝ 27, 2020

    නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ක්‍රයිස්ට්චර්ච් අධිකරණය තීරණය කර තිබේ.

    කෙසේ වුවත් දඬුවම අතරතුර ඔහුට කිසිදු අයුරකින් නිදහසක් ලබාගැනීමට නොහැකි අයුරින් මෙම සිරදඬුවම නියම කර තිබීම විශේෂත්වයක්. එවැනි සිර දඬුවමක් නවසීලන්ත අධිකරණයක් විසින් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.

    ඉකුත් වසරේ මාර්තු මාසයේ ක්‍රයිස්ට්චර්ච්හි සිදුවූ ප්‍රහාරය නවසීලන්ත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකේ. ඉන් අනතුරුව එරට ගිනිඅවි සම්බන්ධ නීති ද දැඩි කිරීමට පියවර ගැණින. බ්‍රෙන්ටන් ටැරන්ට්ට පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත් කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය.

    ඔහු එම වැරදි පිළිගත් අතර, විනිසුරුවරයා ඔහුගේ ක්‍රියාව අමානුෂික ක්‍රියාවක් ලෙස හඳුන්වා ඔහු මිනිසුන් කෙරෙහි කිසිදු දයාවක් නොපෙන්වා ඇති බව ප්‍රකාශ කළේය. දින 04ක් පුරා පැවති නඩු විභාගයට ප්‍රහාරයෙන් දිවි ගළවාගත් පුද්ගලයින් සහ ජිවිත අහිමිවූවන්ගේ පවුල්වල ඥාතීන් 90 දෙනෙකු පමණ සාක්‍ෂි ලබාදීමට පැමිණියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 අගෝස්තු 2020 20:07

    Latest News