අමෙරිකාවේ විරෝධතා තවදුරටත්

අගෝ 27, 2020

    අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ දී නිරායුධ කළු ජාතිකයෙකු වූ “ජේකබ් බ්ලේක්“ පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක්වීමේ සිද්ධියෙන් අනතුරුව, කෙනෝෂාහි ආරම්භ වූ විරෝධතා තවදුරටත් උස්සන්න වී තිබේ.

    ඒ අනුව විරෝධතාහි තෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් 2ක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවේ. 

    විරෝධතා අතරතුර සිදුවූ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කයිල් රිටන්හවුස් නමැති 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මිනීමැරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    විස්කොන්සින් ප්‍රාන්තය පුරා තවදුරටත් පොලිස් භටයින්, ජාතික ආරක්‍ෂක බලකා භටයින් සහ එෆ්.බී.අයි නිලධාරීන් ද යොදවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    ප්‍රාන්තයට පනවා ඇති ඇඳිරි නීති තත්වය ද නොතකා තවදුරටත් විරෝධතා පැවැත්වේ. මේ අතර, 29 හැවිරිදි ජේකබ් බ්ලේක්ට වෙඩි තැබූ විස්කොන්සින් පොලිස් නිලධාරියාගේ අනන්‍යතාව ප්‍රාන්ත නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

    “රස්ටන් ෂෙස්කි“ නමැති එම පොලිස් නිලධාරියා “ජේකබ් බ්ලේක්ගේ“ මෝටර් රථයේ පිහියක් සොයා ගැනීමත් සමඟ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව, විස්කොන්සින් නීතිපති ජෝශ් කවුල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. කෙසේ වුවත්, බ්ලේක්ගේ මෝටර් රථයේ තිබී වෙනත් කිසිදු ආයුධයක් සොයාගෙන නැත. බ්ලේක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නමුත් ඔහු පසුවන්නේ, අංශභාග රෝගී තත්වයකයි.

    Latest News