ලෙබනනයට ආධාර කිරීමට ලෝක නායකයින් සාකච්ජාවක

අගෝ 09, 2020

    ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් සිදුවූ හානිය පියවා ගැනීම සඳහා ආධාර ලබාදීම පිළිබඳ සාකච්ජා කිරීමට ලෝක නායකයින් අද විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතයි.

    මෙය පැවැත්වෙන්නේ බේරූට් හි දැවැන්ත පිපිරීමෙන් දින 05කට පසුවයි. ප්‍රංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම විශේෂ සමුළුව සංවිධාන කරනු ලැබ තිබේ. සමුළුව අන්තර්ජාලය ඔස්සේ, පැවැත්වීමට නියමිත බව, විදෙස් වාර්තාවල සඳහන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම සමුළුව සඳහා සහභාගි වන බව ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

    ඇමෝනියම් නයිට්රේට් ටොන් දෙදහසකට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබීම හේතුවෙන් බේරූට් පිපිරීම සිදුවූ අතර ඉන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 15කට පමණ අධික බව තක්සේරු කර තිබේ. මෙය නොසැලකිලිමත් භාවය නිසා සිදුවූ අනතුරක් බවට චෝදනා කරමින් ඊයේ දිනයේ දී දහස් ගණනක් ජනතාව විරෝධතාවල නිරත වූහ.

    විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති අතර, උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාර සිදු කරමින් රජයේ අමාත්‍යාංශවලට ද හානි කර තිබේ. ලෙබනන් අග්‍රාමාත්‍ය හසන් ඩයබ් ජාතිය අමතමින් සඳහන් කළේ, මෙම අර්බුදවලින් මිදීම සඳහා නියමිත කාලයට පෙර මැතිවරණයක් අවශ්‍ය වන බවයි. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී ලෙබනන් කැබිනට් මණ්ඩලය සාකච්ජා කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ වනවිටත් ලෙබනනය දරුණු ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්ව ඇති අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය ද පාලනය කරගැනීම අපහසු වී ඇති මොහොතක බේරූට් පිපිරීම සිදුවීම විශේෂත්වයක්.

    Latest News