18කට මරු කැඳවමින් ඉන්දියාවේ ගුවන් අනතුරක්

අගෝ 08, 2020

    පුද්ගලයන් 18 දෙනෙකුගේ ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ කොසිකොඩ් නගරය ආසන්නයේ මගී ගුවන් යානයක් ඊයේ අනතුරට පත්ව තිබේ. අධික වාර්ෂා තත්වය යටතේ යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

    සිද්ධියෙන් තවත් මගීන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. බොයිං සමාගමේ 737 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්විය. ගුවන් යානය එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සමාගම සතු යානයක් වෙයි. යානය ඩුබායි සිට ඉන්දියාවේ කුලිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවෙමින් සිටියදී කොසිකොඩ් නගරය ආසන්නයේ අනතුරට පත්වන අවස්ථාවේ පුද්ගලයන් 190 දෙනෙක් යානය තුළ ගමන් ගත් බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

    කාලගුණික තත්වය හේතුවෙන් පළමුවර ගොඩබැස්සවීමට නොහැකි වී ඇති යානය නැවත පියාසර කරවීමට උත්සහ කරවීමේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව ද නිවේදනයේ සඳහන්ව තිබේ.

    අධික වර්ෂාව හේතුවෙන් ගලවාගැනීමේ කණ්ඩායම් ඉතා අසීරු මෙහෙයුමකින් පසු අනතුරට පත් සියලු දෙනා මේ වන විට රෝහල් සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 08 අගෝස්තු 2020 11:15

    Latest News