චෙන්නායි නුවර සහ තවත් දිස්ත්‍රික්ක 3 කට නැවත අගුලු

ජූනි 20, 2020

    ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා ඇති බව වාර්තා වේ. ඒ දින 12 ක කාලයක් සඳහායි.

    ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වැනි දින තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

    චෙන්නායි නගරය මෙන්ම තවත් යාබද දිස්ති‍්‍රක්ක 03 ක් ද මෙලෙස තාවකාලිකව වසා දමා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

    එම ප්‍රදේශවල ජීවත් වන්නන්ට අත්‍යවශ්‍ය සේවා සහ සිල්ලර වෙළෙදසල් පමණක් පවත්වාගෙන යාමට බලධාරීන් අවසර දී තිබේ.

    චෙන්නායි යනු තමිල්නාඩු ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය වන අතර එය ඉන්දියාවේ 06 වැනි විශාලතම නගරය ද වේ.

    තමිල්නාඩු ප‍්‍රාන්තය පුරා නව්‍ය කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී ඇති අතර, ඉන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ චෙන්නායි නගරයෙනි.

    තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 කට අධික වන අතර ඉන් 37,000 ක් පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ අගනගරය වන චෙන්නයි ප‍්‍රාන්තයෙන්.

    වෛරසය හේතුවෙන් එම ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 600 කට අධික වන අතර, චෙන්නායි නගරයෙන් මරණ 260ක් වාර්තා වී තිබේ.

    කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් අගුලු දැමීමේ සීමා යළි පැනවූ ඉන්දි‍යාවේ එකම නගරය චෙන්නායි නගරයයි.

    ලොව සිව්වැනියට වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, එම සංඛ්‍යාව 380,532 ක්.

    වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 12,573 ක් වේ.

    Latest News