ශ්‍රී ලංකාව හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් තරගයේ කුසලානය කාටද?

ජූලි 12, 2019

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝර්ඩ්ස්හිදී පැවැත්වීමට නියමිතයි.

    මෙවර තරගයේ විශේෂතා කිහිපයක් පවතිනවා. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ නොමැතිව අවසන් තරගයක් පැවැත්වෙන්නේ, වසර 23කට පසුව වීම එක් විශේෂත්වයක්. එමෙන්ම, ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා එංගලන්තය මෙවර සුදුසුකම් ලැබුවේ, වසර 27කට පසුවයි. එංගලන්තය සහ නවසීලන්තය මීට පෙර කිසිදු අවස්ථාවක මෙවැනි තරගාවලියක අවසන් මහා තරගයකදී එකිනෙකා මුණගැසී ද නැහැ. නවසීලන්තය අවසන් තරගයක් සඳහා 2015 වසරේදී පළමුවරට සුදුසුකම් ලැබුවද ඔස්ට්‍රේලියාව හමුවේ ඔවුන් පරාජයට පත්වුණා. එංගලන්තය, 1992 දී අවසන් තරගයට සුදුසුකම් ලැබුවද පකිස්තානය හමුවේ ලකුණු 22කින් පරාජය වීමට සිදුවිය.

    ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව අවස්ථා 5කදී ශුරතාව දිනා සිටිනවා. ඒ, 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී. ඉන්දියාව ශුරතාව දිනාගත් අවස්ථා ගණන 2ක්. ඒ 1983 සහ 2011 වසරවලදී. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද දෙවරක් ශුරතාව හිමිකර ගත්තා. ඒ, 1975 දී සහ 1979 දී. ශ්‍රී ලංකාව 1996 වසරේත්, පකිස්තානය 1992 වසරේත් ලෝක ක්‍රිකට් ශුරයින් බවට පත්වුණා. එංගලන්තය සහ නවසීලන්තය ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට මෙතෙක් සමත්ව නැහැ. ඒ අනුව, මෙවර ක්‍රිකට් කිරුළ කවුරුන් විසින් හිමිකර ගනු ඇති ද යන්න පිළිබඳව කාගේත් විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

    Latest News