අද මව්බිමට තවත් රන් පදක්කමක්

සැප් 25, 2023

    චීනයේ හැංජෝ නුවර දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට්ඉසව්වේ අවසන් මහා තරඟය අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයගතහොත් එම ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර තරඟය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන්නේ රිදී පදක්කමයි.

    2014 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවන පළමු අවස්ථාව මෙය වනු ඇති.

    ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී පදක්කමක් හිමි කර ගත්තේ 2014 වර්ෂයේ පිරිමි ක්‍රිකට් ඉසව්වෙන්. එහිදී ළහිරු තිරිමාන්න ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දුන්නා.

    ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගයක දී පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුළු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

    එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.

    පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 03 කදී කඩුලු 04 ක් දැවී ලකුණු 77 ක් රැස් කර ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තා.

    Latest News