ලෝක ශුරතා ටෙස්ට් ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන; වසර ‍‍ 69කට පසු නාලන්දාවට ජය...

ජූලි 12, 2022

    ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහන අනුව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

    ඒ ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමත් සමගයි. ශ්‍රී ලංකා කණ්ඩායම, ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 39 කින්. මේ වන විට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහන අනුව පෙරමුණේ පසුවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවනවා.

    කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවති මහා ක්‍රිකට් තරගයෙන් ජය හිමිකර ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් වුණා. නාලන්ද විද්‍යාලය මෙම තරගය ජය ගත්තේ, වසර ‍‍ 69 කට පසුවයි. 92 වැනි වරට‍ සංවිධාන කෙරුණු ආනන්ද - නාලන්ද “සුලෝහිත සංග්‍රාමය” ඊයේ නිමා වූයේ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්ද කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 139 යි. අනතුරුව ඉනිමක පරාජයකින් බේරීමට ආනන්ද විද්‍යාලයට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා. ඔවුන්, දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 180 ක්. ඒ අනුව, නාලන්ද විද්‍යාලයට තරගය ජය ගැනීමට ලකුණු 30 ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් ලකුණු 31 ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළා. තරගයේ දක්ෂතම පන්දු රකින්නා ආනන්ද විද්‍යාලයේ නුෂාල් ධර්මරත්න. නාලන්ද විද්‍යාලයේ චෙනාල් අතුකෝරල දක්ෂතම පිතිකරු ලෙසත්, විනූජ රන්පුල් දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනා ගත්තා. තරගයේ වීරයා, නාලන්ද විද්‍යාලයේ රවීන් ද සිල්වා.

    Latest News