ඉන්දියාව, 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගනී...

මාර් 14, 2022

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දියාව අද (14) සමත්වුණා.

    ඒ අනුව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවුණා. වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය ද මෙයයි. තරගය පැවැත්වුණේ බැංග්ලෝර්හිදී. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 252ක් රැස් කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109යි. ඉන්දියාව දෙවන ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම සඳහා හිමිවූ ඉලක්කය, ලකුණු 447ක්. අද තෙවැනි දිනට තරගය ආරම්භ කරන විට, ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න. කුසල් ලකුණු 54යි. දිමුත් කරුණාරත්න ලකුණු 107යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කළේ නැහැ.

    තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියා. ඔහු පිටියෙන් ඉවත්ව යනවිට ඉන්දීය ක්‍රීඩකයන් සුබ පැතුම් එක්කළා. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 208ක් පමණයි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් දවාගත් අතර, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3යි. තවත් දින 2ක් ඉතිරිව තිබියදී, ඉන්දියාව තරගය ජයගැනීම විශේෂත්වයක්. තරගයේ වීරයා ශ්‍රෙයාස් අයියර්. රිශාබ් පාන්ට්, තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තා.

    Latest News