වසර 9කට පසු ලැබූ විශිෂ්ඨ ජයක්...

ජූලි 24, 2021

    ඉන්දියාවට එරෙහිව පැවති තුන්වැනි එක්දින තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

    තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය ජයගත් ඉන්දියාව,පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනූව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 43යි,පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 225ක්.

    ප්‍රිත්වි ෂෝ ලකුණු 49ක් රැස්කළ අතර සංජු සැම්සන් ලකුණු 46යි. සූර්යකුමාර් යාදේවි ලකුණු 40ක් රැස්කළේය. පන්දු යැවීමේ දී අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිඳ හෙලීය. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 39ක් අවසානයේ, කඩුලු 7ක් දැවී ලකුණු 227ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    වැඩිිම ලකුණු ලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු තම එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 76ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත්. භානුක රාජපක්ෂ තම පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 65ක්. චරිත් අසලංක ලකුණු 24යි.

    රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 15ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට දී එක්දින තරගයක් ජයගත්තේ 2012 වසරේ ජූලි මාසයෙන් පසුවයි. මේ අතර 2017 වසරේ ජූනි මාසයෙන් පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජයගත් පළමු එක්දින තරගය මෙයයි.

    අවසන් තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු. තරගාවලියේ වීරයා සම්මානය සූර්යකුමාර් යාදේවි හිමිකර ගත්තේය.

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 12:43

    Latest News